Photobucket

Saturday, December 15, 2012

යළි ටෙස්ට් පිටියට පිවිසි හියුස්ගෙන් අගනා පිතිහරඹයක්

ඔස්ට්‍රේලියාව කඩුලු 4කට ලකුණු 299 යි

පිල් හියුස්, ඩේවිඩ් වෝනර් හා මයිකල් ක්ලාක් ශ්‍රී ලංකාව ට එරෙහිව වාර්තා කළ අර්ධ ශතක මත ඔස්ට්‍රේලියාව හොබාට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ ආරම්භක දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 299ක් රැස්කර ගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එතරම් අභියෝගයක් එල්ල නොවූවද මහේල ජයවර්ධනගේ කණ්ඩායම දක්ෂ පන්දු රැකීමක නියැලෙමින් ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට ලකුණු තුනකට මඳක් වැඩියෙන් රඳවා තබා ගැනීමට සමත් විය.

වසරකට පසුව යළි ටෙස්ට් තරග බිමට පිවිසි හියුස් ලකුණු 86ක් ලබා ගත් අතර දිවා ආහාරයට මොහොතකට පෙර වෝනර් ලකුණු 57කට දුවද්දී දැවී ගියේය. ඊයේ පළමු දින තරගය නතර කරන විට නායක ක්ලාක් නොදැවී ලකුණු 70ක්ද, මයික් හසී නොදැවී ලකුණු 37ක්ද රැස්කර ගෙන ලකුණු 101ක නොබිඳි සබඳතාවක් ගොඩනගා ගෙන සිටියහ.

ක්ලාක් කැලැන්ඩර වසරක ලකුණු 1400 ඊයේ වාර්තා කළේය. අංක 3 පිතිකරු ලෙසින් ක්‍රීඩා කළ හියුස්, චානක වෙලගෙදර ගේ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් සවස තේ පානයෙන් මඳ වේලාවකට පසුව දැවී ගියේය. මිනිත්තු 221ක් කඩුල්ලේ රැඳී සිටි හියුස් හතරේ පහර 8ක් හා හයේ පහරක් එල්ල කළේය. ඔහු ලකුණු 77ක් ලබා ගෙන සිටියදී වෙලගෙදරගේ පන්දුවකට කඩුල්ල පිටු පසට උඩ පන්දුවක් ලබා දුන්නද එය නීති විරෝධී පන්දුවක් විය. 

රිකී පොන්ටිං ගේ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ ෂේන් වොට්සන් ලකුණු 30කට දැවී ගියේය. ඔහු දැවී ගියේ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ අති දක්ෂ උඩ පන්දු රැකීමකිනි. පන්දු යවන්නා වූයේ වෙලගෙදර ය. මේ අනුව ඔස්ට්‍රේලියාව තරගයේ 51 වැනි ඕවරය වන විට මුළු ලකුණු 183කට කඩුලු 3ක් අහිමි කර ගෙන සිටියේය. වොට්සන් සහ හියුස් ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගූහ. වෝනර් දිවා ආහාරයට පෙර යැවුනු අවසන් ඕවරයේදී දුවද්දී දැවී ගියේය. 

එඩ් කොවන් 6 වැනි ඕවරයේදී වෙලගෙදර ගේ පන්දුවකට ‘මිඩ් ඕන්’ හි පන්දු රකිමින් සිටි ශමින්ද එරංග අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. වෙලගෙදර ඕවර 20ක් යවමින් ලකුණු 99කට කඩුලු 3ක් ලබා ගත්තේය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all