Photobucket

Friday, December 21, 2012

හෙළ සිනමාවේ මහා තරු මංගල්‍යය

රිදී රැයක්‌ දසවැන්න

ආකාසේ තියෙන තාරුකා දිහා බලා ඉන්න අකමැති කෙනෙක්‌ නැහැ. ඕනෑම වෙලාවක්‌ තාරුකා දිහා බලා ඉන්න පුළුවන්. ඒ තරුවලට ළං වෙන්න ඇත්නම්... ඒ තරු පොළොවට සමීප වෙනව නම්...

ඒ වගේ තමයි සිනමා අම්බරයේ පායා තියෙන තාරකාත්. ඒ තරු දිහා බලා ඉන්න හුඟාක්‌ දෙනා කැමැතියි. ළඟටම ගිහින් ඒ තරු අල්ලන්න පුළුවන් නම් ඒ තරම් සතුටක්‌ රසිකයකුට තවත් තියෙනවද? ආකාසේ තියෙන තාරුකා, නෙළුම් මල් පිපී හිනැහෙන පොකුණකට බැහැලා නටනව නම්... ඒ දර්ශනය කොතරම් චමත්කාරද... ඒක කවදාවත් සිද්ධවෙන එකක්‌ නැහැ. ඒත් සිනමා අඹරේ පායා දිලෙන තාරකා හැම අවුරුද්දකම සීතල උඳුවප් මාසයේ දවසක රසිකයන් සමීපයටම එනවා. ඇවිත් අපි ආසම කරන සිංදුවලට රැඟුම් රඟනවා. හෙටත් ඒ වගේ අවස්‌ථාවක්‌ උදා වෙනවා. සිනමා අඹරේ අපි ආදරය කරන, අපි ආස කරන තරු හෙට හවසට නෙළුම් පොකුණට බසිනවා. මේ තාරකා අපිට සමීපව පෙනෙන මානයක ඉඳන් විචිත්‍රවත් රංගනයන් ඉදිරිපත් කරනවා. රිදී තිරයේ තාරුකා පොළොවට පතිත වන ඒ රැය ඇත්තෙන්ම රිදී රැයක්‌. අපේ සිනමාවේ තරු මංගල්‍යය තමයි රිදී රැයක්‌. "රිදී රැයක්‌" සිනෙස්‌ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උදාර සංකල්පයක්‌. අවුරුදු නවයක්‌ නොකඩවා පවත්වාගෙන ආ රිදී රැයක්‌ හෙට දසවැනි සංවත්සරය සමරනවා. ජීවිත කාලයම රසික රසිකාවියන් රස ගන්වන්න දහඩිය කඳුළු හෙළුE සිනමා ශිල්පීන් අසරණ වූ ඔවුන් වෙනුවෙන් සුබසාධනය සලසන්නයි "රිදී රැයක්‌" කරන්නේ. ලබන ආදායම සම්පූර්ණයෙන්ම මේ සුබසාධනය උදෙසායි.

"රිදී රැයක්‌" සමග එක්‌වන කලාකරුවන් අතරින් කීප දෙනෙක්‌ගේ අදහස්‌ පළ කරන්නේ මේ උදාර අරමුණ ඉටුකර ගන්නට අපටද යම්තාක්‌ දුරට හෝ දායක වීමට ලැබෙන අවස්‌ථාවක්‌ සේ සලකාය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්‌වන "රිදී රැයක්‌" සමග පසුගිය වසර නවය පුරාම "දිවයින සිනමා කලා" සංග්‍රහයද එක්‌ව සිටියා. මෙවර රිදී රැයක්‌ දසවැන්නේද අපි ඒ සමග සිටින්නෙමු. දැන් අපි ප්‍රවීණයන් කිහිප දෙනකුට සවන් යොමු කරමු.

අපේ ශිල්පීන් එකතුවීමම හරිම සතුටක්‌
- සිනමා නිළි රැජන මාලිනී ෙµdන්සේකා

අවුරුදු දහයක්‌ අඛණ්‌ඩව පැවැත්වූ ප්‍රසංගයක්‌ රිදී රැයක්‌ ඇරෙන්න මම අහලා නෑ. වසරින් වසර සාර්ථක වෙනවා. ප්‍රධාන පෙළේ සියලුම නළු නිළියන් සහ නව පරපුරේ අයත් සහභාගි වෙනවා. 'රිදී රැයක්‌' තුළින් ලැබෙන මුදල පිහිටක්‌ අවශ්‍ය අපේම ශිල්පීන්ට වෛද්‍ය පහසුකම්, රක්‍ෂණ ආවරණ වැනි ප්‍රතිලාභ සඳහායි යොදවන්නේ. ඒ විතරක්‌ නොවේ. මම 'රිදී රැයක්‌' තුළින් විඳින ලොකුම සතුට තමයි අපේ නළු නිළියන්ගේ එකමුතු වීම. මේ සාමූහික බව හරිම වැදගත්. කිසිම මුදලක්‌ අය නොකර එකම අරමුණක්‌ වෙනුවෙන් මේ කරන කැපවීම කොතරම් වටිනවද. මේ වෙද්දී පිටරට ඉන්න රසිකයන් මගෙන්ම ප්‍රවේශපත්‍ර විසිපහක්‌ තිහක්‌ වෙන් කරගෙන. හැම කෙනෙක්‌ම සහභාගි වන්නේ ප්‍රවේශ පත්‍රයක්‌ මිලට අරගෙන. ආරාධනා පත්‍ර නෑ. ප්‍රවේශ පත්‍රයට වැය කරන මුදල නළු නිළියන්ගේ සුබසාධනය වෙනුවෙන්. ඒක හරිම වැදගත්. සිනෙස්‌ටාර් සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ මේ සංකල්පය හරිම උදාරයි.

අතිසාර්ථක දැවැන්ත ප්‍රසංගය රිදී රැයක්‌
- ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය

මේ රිදී රැයක්‌ දසවැනි සංවත්සරය. ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ ප්‍රසාංගික වේදිකාවේ අතිසාර්ථක දැවැන්තම ප්‍රසංගය තමයි රිදී රැයක්‌. ප්‍රේක්‍ෂකයාට විචිත්‍ර අත්දැකීමක්‌ ලබා දෙන්නේ තමන් ආදරය කරන නළු නිළියන්ගේ සහභාගිත්වයයි. ආදරය කරන තරු තමන් ඉදිරියේ රඟන අයුරු. ප්‍රේක්‍ෂකයාට අමතක නොවන අත්දැකීමක්‌. 'රිදී රැයක්‌' කොතරම් ජනප්‍රියද කියනවා නම් ඒ හා සමාන අනුකරණ රැල්ලකුත් ආවා. රියෑලිටි වේදිකාවේත් රිදී රැයක්‌ ප්‍රසංගයේ ආභාෂය ලබා ගත්තා. අවුරුදු දහයක්‌ අඛණ්‌ඩව දෙසැම්බර් මාසයේ නියමිත කාලයට රිදී රැයක්‌ පැවැත්වීම විශේෂයි. ජනප්‍රියත්වය වඩ වඩාත් වර්ධනය වුණා. සමහර විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ කාලයට 'රිදී රැයක්‌' නිසාම මව්බිමට පැමිණීම පුරුද්දක්‌ කරගෙන ඉන්නවා. ප්‍රචාරය වෙන්න කලින් ප්‍රවේශපත්‍ර අලෙවි වෙනවා. ජයන්ත ධර්මදාස මහතාගේ කැපවීම හා නායකත්වය තමයි 'රිදී රැයක්‌' සාර්ථකත්වයට හේතුව.

මේ අරමුදල් හොයන්නේ අපේම ශිල්පීන් වෙනුවෙන්
- ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේන

මේ ප්‍රසංගය වාර්ෂිකව කෙරෙන්නේ අපේම ශිල්පීන්ගේ සුබසාධනයට. මෙහි ඇතුළත කතාව ඒකයි. අපි සතුටු වෙනවා අවුරුදු දහයක්‌ රිදී රැයක්‌ ඉදිරියට ගෙන එන්න හැකිවීම ගැන අද බොහෝ සංකල්ප පටන් ගත් තැනම ලොප් වෙද්දී ජයන්ත ධර්මදාස මහතාගේ මේ සංකල්පය සාර්ථක ලෙස ඉදිරියට යනවා. ප්‍රසිද්ධ නොවුණට රිදී රැයක්‌ තුළින් උපයන මුදලින් අපේ ශිල්පීන් බොහෝමයකට ප්‍රතිලාභ ලැබෙනවා. මේ සඳහා කලාකරුවන් ලෙස අපේ එකමුතුකම තව තවත් ඉදිරියට ගෙන යා යුතුයි. මෙවරත් ශ්‍රී ලංකා ටෙලිකොම් අපිට අනුග්‍රහය දක්‌වනවා. අපිට ලැබෙන ලොකුම ප්‍රතිලාභය ඒක තමයි. ඒ වගේම නර්තන ශිල්පී චන්න විඡේවර්ධන පුදුමාකාර කැපවීමක්‌ කරනවා.

මේ සංකල්පය ඉතාම වැදගත්
- ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු

රිදී රැයක්‌ තමයි අඛණ්‌ඩව ගෙන එන ප්‍රසංගය. ජයන්ත ධර්මදාස මහතාට අපි කෘතඥ වෙනවා අපි වෙනුවෙන් මේ සංකල්පය හඳුන්වා දුන්නාට. පසුගිය අවුරුදු නවයේම වගේ මෙවරත් රිදී රැයක්‌ සාර්ථක වෙන බව සියයට සීයක්‌ම විශ්වාසයි. මුලදී අපිට යුනිලිවර් සමාගම, මන්චී ආයතනය උදව් කළා. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රාහකත්වය ලබා දෙනවා. රිදී රැයක්‌ කියන්නේ මුදල් එකතු කරලා විනෝදවෙන ප්‍රසංගයක්‌ නොවේ. අපි කවුරුත් ලෙඩකදී දුකකදී අසරණයි. කලාකරුවන්ටත් එහෙමයි. ඉතින් එවන් කලාකරුවන්ට සහනයක්‌ ගෙන දෙන්න තමයි 'රිදී රැයක්‌' තුළින් මුදල් හොයන්නේ.

අලුත්ම රිදී රැයක්‌ මෙවරත්
- ප්‍රවීණ ශිල්පී රෝයි ද සිල්වා

රිදී රැයක්‌ දසවැන්න. හරිම සතුටක්‌ දැනෙනවා. මේ ප්‍රසංගය ඉතාම සාර්ථකයි. එනිසා තමයි රසිකයන් වැළඳගත් ප්‍රසංගයක්‌ වෙන්නේ. හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසය උදාවෙන තුරු බොහෝ දෙනා බලා ඉන්නවා රිදී රැයක්‌ බලන්න. රිදී රැයක්‌ කවදාවත් කඩාවැටුණේ නෑ. මෙවරත් අලුත්ම තාලේ 'රිදී රැයක්‌' දැක ගන්න පුළුවන්.

අරමුණ උතුම්
- ප්‍රවීණ නිළි සබීතා පෙරේරා

රිදී රැයක්‌ ගිය අවුරුද්දේ ප්‍රසංගයට එක්‌වන්න නොහැකි වීම ගැන දුකයි. අනෙක්‌ හැම ප්‍රසංගයකටම මමත් එක්‌වුණා. ප්‍රවේශ පත්‍ර දැනටමත් අවසන්. මේක සුබසාධන කටයුත්තක්‌. මම වුණත් මෙවැන්නකට එකතු වෙන්නේ අපේම අයට මෙයින් යහපතක්‌ සිද්ධවෙන නිසා. නටන ගයන එකට වඩා ඊටත් එහා යන අරමුණක්‌ අපෙන් විය යුත්තේ ඒ අරමුණ ඉටුකර ගැනීමට ශක්‌තිය ලබා දීමයි. මගෙන් යමෙකුට යහපතක්‌ සිද්ධ වෙනවා නම් මම ඉදිරිපත් වෙනවා. රිදී රැයක්‌ සඳහා ලැබෙන ප්‍රතිචාර හොඳයි. එනිසා මමත් සහභාගි වෙනවා. වසර දහයක්‌ පුරා ප්‍රේක්‍ෂකයා රිදී රැයක්‌ සමඟ සිටියා.

රිදී රැයට සූදානම් වෙන කාලයත්
හරිම සුන්දරයි
- ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න

රිදී රැයක්‌ සිනමාවේ සිටින ප්‍රවීණයන්ට සහ දැනට කර්මාන්තයේ සිටින අයට ප්‍රතිලාභ ලබා දෙන්න කරන ප්‍රසංගයක්‌. මෙයින් ලැබෙන ආදායමෙන් තමයි සිනෙස්‌ටාර් පදනම අපේ ශිල්පීන්ට වෛද්‍ය රක්‍ෂණයක්‌, ජීවිත රක්‍ෂණයක්‌ ලබා දෙන්නේ. සෑම අවුරුද්දකම මේ රක්‍ෂණ කටයුත්ත සඳහා රුපියල් ලක්‍ෂ අසූවත්, ලක්‍ෂ සීයත් අතර මුදලක්‌ වැය වෙනවා. කාර්මික ශිල්පීන්, රංගන ශිල්පීන් බොහෝ දෙනෙක්‌ මේ ප්‍රතිලාභ ලබා දෙනවා. 'රිදී රැයක්‌' පසුබිමේ කතාව ඒකයි. ඒ සුබසාධනයට ප්‍රේක්‍ෂකයන් දායක වන්නේ රිදී රැයක්‌ නැරඹීමෙන්. වැඩිහිටි ශිල්පීන් අසනීප වුණාම අසරණ වෙනවා. ඒත් සිනෙස්‌ටාර් පදනම නිසා මේ බිය නැති වෙනවා. තමන් කැමැති ඕනෑම රෝහලකට ඇතුළු වෙලා ශල්‍යකර්මයක්‌ කරගත හැකියි. රිදී රැයක්‌ ප්‍රසංගය දවසට වගේම පුහුණුවීම් කාලයත් හරිම සුන්දරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all