මේ රටේ
වැඩි පිරිසක් සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. එසේ නැතිනම් රජයේ සංස්ථාවලය.
සීතල උඳුවප් මාසය ළගා වෙනවාත් සමග මේ දෙකොටසම ඇඟිලි ගනිමින් බලා සිටින්නේ
බෝනස් ලැබෙන තුරුය. ඒ නත්තල මෙන්ම අලුත් අවුරුද්ද සමග උදාවන උත්සව සමයේ
අලුත් ඇඳුමක්ගෙන දුර බැහැර ප්‍රදේශයක විනෝද චාරිකාවක් ගොස් හොඳ භෝජන
සංග්‍රහයක් භුක්ති විඳීම රටවැසියන්ගේ අහිංසක ආසාවන් වන නිසාය.
සාමාන්‍යයෙන් බෝනස් ලැබෙන්නේ මූලික වැටුප මෙන් දෙගුණයකි. සමහර තැන් වල ලැබෙන්නේ වැටුපෙන් භාගයකි. මෙකල නම් වැටුප මෙන් තුන් හතර ගුණයක බෝනස් දීමනාවක් ලැබුණද ඉන් කා බි නිවී සැනහෙනවා මිසක් අමතර දෙයක් කිරීමට රට්ටුන්ට නොහැකිය. ජීවන වියදම ඒ තරම්ම බරපතළ නිසාය.
රට්ටුන්ට ලැබෙන බෝනස් කෙසේ වෙතත් මෙවර දෙසැම්බරයේ ලොකුම බෝනස් දීමනාව ලැබෙන්නට යන්නේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ටය. එය එසේ මෙසේ දීමනාවක් නොව ආසන්න වශයෙන් රුපියල් මිලියන විස්සක් හෙවත් කෝටි දෙකක මුදලකි. මේ බෝනස් දීමනාව මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ මුදලින් නොවේ. නිත්‍යානුකූලව රුපියල් කෝටි දෙකක් හම්බු කර ගැනීමට මන්ත්‍රීවරුන්ට සුපිරි වරප්‍රසාදයක් දෙන්නට යන්නේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය විසිනි. ඒ තීරු බදු රහිතව වාහනයක් ගෙන්වීමට මන්ත්‍රීවරුන්ට දෙන බලපත්‍රය විකිණීමට තිබූ තහංචිය ඉවත් කරමිනි. මෙපමණ කලක් එහි තහංචිය පනවා තිබුණේ බදු රහිතව ගත් වාහනය වසර පහක් යනතුරු විකිණිය නොහැකි ලෙසය. බොහෝ කාලයක සිට එවැනි නීතියක් පනවා තිබුණද ඇතැම් මැති ඇමැතිවරුන් හොර රහසේ තමන්ගේ බලපත්‍ර මෙන්ම වාහනද විකුණන බව කොයි කවුරුත් දන්නා රහසකි. මේ සිද්ධිය හෙළි වීම නිසා දෙතුන් දෙනෙකුට නඩු පැවරුණි.
මෙකල
නම් ඇමරිකන් ඩොලර් පනස් දහසක් හෙවත් රුපියල් ලක්ෂ හැට පහක් පමණ වටිනා
වාහනයක් තීරු බදු රහිතව ගෙන්වීමට මන්ත්‍රීවරුන්ට වරප්‍රසාදයක් හිමිය. මේ
තීරු බදු සහනය නොමැතිව ඩොලර් පනස් දහසක් වටිනා සුඛෝපභෝගී වාහනයක්
ගෙන්වූයේ නම් ඊට ආසන්න වශයෙන් කෝටි දෙකක පමණ බදු මුදලක් වැය වන්නේය.
සුඛෝපභෝගී වාහනවල පමණක් නොව මධ්‍යම පාන්තිකයන්ගේ ලොකුම සිහිනය වන මරුටි
මෝටර් රථවල පවා මිල මේ සා එකවරම ඉහළ ගියේ ඊටද බදු අය කරන බැවිනි. එනමුත්
මන්ත්‍රීවරුන්ගේ වාහනවලට එවැනි කොන්දේසි නොවීය. තිබූ එකම කොන්දේසිය වූයේ වසර පහක් යනතුරු අන්සතු කළ නොහැකි බව පමණි.
කෙසේ නමුදු එම කොන්දේසිය ඉවත් කිරීමට යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදීය. මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට පහසුකම් සපයන්නේ එම අමාත්‍යංශය විසිනි.
අපේ අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමට පැමිණි ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේත් මන්ත්‍රීවරුන් තමයි මේ යෝජනාව කළේ. ඔවුන්ගේ තර්කය වූයේ රජයේ නිලධාරීන්ට ගෙන්වන තීරු බදු පනත වාහන බලපත්‍ර විකුණන්න ඔවුන්ට අවසර දී තිබෙන නිසා තමන්ටත් එම අවස්ථාව දිය යුතුයි කියල. මේ යෝජනාව සලකා බලන්න තීරණය කර ඇති නිසා ඒ බව මහා භාණ්ඩාගාරයට දැනුම් දුන්නා. අවසාන තීරණය ලැබෙන්නේ භාණ්ඩාගාරයෙන් . එසේ නැතිව මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන බලපත්‍රය විකුණන්න තවම අවසර දී නෑ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනී සුමේධා ජී. ජයසේන කියන්නීය.
රජයේ සේවකයන්ට නම් බලපත්‍ර විකුණා ගතහැක්කේ රුපියල් ලක්ෂ පහක් දහයක මුදලක් පමණි. ඒ ඔවුන්ට ඩොලර් පනස් දහසක් පමණ වටිනා වාහන ගෙන්වීමට තීරුබදු සහන නැති නිසාය. එනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එසේ නොවේ. මන්ත්‍රීධුරය මෙන්ම වාහන බලපත්රයද දැන් ඔවුන්ට ධන නිධානයක් බවට පත්ව තිබේ.
මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය විකිණීමට අවසර දීමට පමණක් නොව ඔවුන්ගේ උදෑසන ආහාරයට නත්තල් මාසයේ සිට තව තවත් රස බොජුන් එකතු කිරීමටද තීරණය වී තිබේ. මෙපමණ කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උදේ ආහාරයට තිබුණේ කිරිබත්, ආප්ප, කඩල, කවුපි, මුං ඇට වැනි දේය. මේ ආහාර වේලක මිල රුපියල් අසූවකි. මේ මිලේ වෙනසක් නොකර නව රස බොජුන් ද මන්ත්‍රීවරුන්ට දීමට තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ කෑමවේල ගැන සොයා බලන්ට පාර්ලිමේන්තුවේ වෙනම කමිටුවක් තිබේ. එය හඳුන්වනු ලබන්නේ ගෘහ්‍ය කාරක සභාව යනුවෙනි. කථානායකවරයා සහ මන්ත්‍රීවරුන්ගේ සුව පහසුව සම්බන්ධ සියලු කාරණා පිළිබඳ සලකා බලන්නේ ඒ පිළිබඳ උපදෙස් දෙනු ලබන්නේ ගෘහ්‍ය කාරක සභාවය.
කථානායක චමල් රාජපක්ෂ ද ආණ්ඩුව නියෝජනය කරමින් ප්‍රියංකර ජයරත්න, තිස්ස කරළියද්ද, චන්ද්‍රසිරි ගජධීර , වීරකුමාර දිසානායක , ගීතාංජන ගුණවර්ධන, ඒ.එච්.එම්. අස්වර් ද , විපක්ෂය නියෝජනය කරමින් ජෝසප් මයිකල් පෙරේරා , සෙල්වම් අඩෙක්කලනාදන්, අජිත් කුමාර හා රෝසි සේනානායක ද ගෘහ්‍ය කාරක සභාවේ සාමාජිකයෝ වෙති.
මේ කාරක සභාවට දෙසතියකට ඉහතදී මන්ත්‍රීවරියක් යෝජනා කළේ උදෑසන කෑම වේලට බේකන්කෝන් ෆ්ලේක්, මී පැණි හා ගෝල්ඩන් සිරප් එකතු කළ යුතු බවය. තවත් මන්ත්‍රීවරියක කියා තිබුණේ දහවල් කෑමට හරක් මස් හා ඌරු මස්ද තිබිය යුතු බවය. එනුමත් ඇගේ එම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය දැක්වූ හෙයිනි.
කෙසේ නමුදු උදෑසන කෑම වේලට අලුතෙන් යෝජනා වූ ජාතිදීමට ගෘහ්‍ය කාරක සභාව එකඟතාව පළ කර තිබේ.
සාමාන්‍යයෙන් බේකන් මෙන්ම ගෝල්ඩන් සිරප් හැඳින්වෙන්නේ සුපිරි පැලැන්තියේ කෑම ලෙසය. ඌරන්ගේ ගාත් වලින් මේදය සහිතව ගන්නා මාංශ කොටස් ලුණු දමා පදම් කිරීමෙන් බේකන් සකස් කෙරේ. මන්ත්‍රීවරුන්ගේ උදේ ආහාරයට එකතු වී තිබෙන කෝන් ෆ්ලෙක්ස් යනු ධාන්‍ය සහිත ආහාරයකි. ගෝල්ඩන් සිරප් යනු පැණියකි. තරු පහේ හෝටල්වල උදෑසන ආහාර වේලට පාන්, බනිස් වැනි ආහාර සමග බටර්, ජෑම් මෙන්ම ගෝල්ඩන් සිරප්ද තිබේ. සාමාන්‍ය පැණි වර්ග ආහාරයට නොගන්නා මෙන්ම මිල මුදල් යහමින් තිබෙන උදවිය කන්නේ ගෝල්ඩන් සිරප් තැවරූ ආහාරය.
මේ සියල්ල ඇතුළත් ප්‍රණීත පාත රසය දැන් මන්ත්‍රීවරුන්ට භුක්ති විඳින්නට ලැබෙන්නේ රුපියල් අසූවකටමය. එනමුත් රට්ටුන්ට නම් පරිප්පු සමග පාන් භාගයක්වත් රුපියල් අසූවට කෑ නොහැකිය. මේ තත්ත්වය සාධාරණ දැයි අප ඇසුවේ ගෘහ්‍ය කාරක සභාව නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී ජනතා සන්ධානයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරගෙනි.
මගේ නම තිබුණට මම කවදාවත් ඔය කමිටුවට ගිහින් නෑ. පාර්ලිමේන්තුව කියන්නේ මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න තියන උත්තරීතරම ආයතනය කියලා තමයි කියන්නේ. නමුත් ප්රශ්නය වන්නේ පාර්ලිමේන්තුව ඇත්තටම මහජනතාව වෙනුවෙන් වැඩකරනවාදැයි යන්නයි. පාර්ලිමේන්තුව අද තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ සුඛ විහරණයටයි. ඒ නිසා එහි කෑම වේලට බේකන් ගෝල්ඩන් සිරප් ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මන්ත්‍රීවරුන්ට ඕනේ තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය මිසක් මහජනතාවට වැඩක් කරන්න නෙවේ. මන්ත්‍රීවරයා කියන්නේය.
කෙසේ නමුදු බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ ගණන් හැදිල්ලට අනුව රුපියල් දෙදහස් පන්සියකින් තුන් වේලටම කා මිනිහෙකුට මාසයක් ජීවත් විය හැක. අපේ කල්පනාවේ හැටියට දෙදහස් පන්සීයකින් මාසයක් පුරා කන්න නම් ලංකාවේ තිබෙන එකම තැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරය පමණි.
මිහිරි ෆොන්සේකා
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment