Photobucket

Friday, December 14, 2012

මහේල නායකත්වයට සමු දෙයි

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගමාලාවෙන් පසු නායකත්වයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය. ඔස්ට්‍රේලියාවේ හොබාර්ට් නුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

යොවුන් ක්‍රීඩකයෙකුට නායකත්වය භාරදීමට කාලය එළැඹී ඇතැයි පැවැසූ 35 හැවිරිදි මහේල ඒ සඳහා සුදුසුම ක්‍රීඩකයා ලෙස සිය උපනායක ඇන්ජෙ‍ලෝ මැතිව්ස් නිර්දේශ කළේය. මහේල දෙවැනි වරට ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වයට පත්වූයේ පසුගිය ජනවාරි මාසයේදිය. එය මේ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව නිමාවන බව ද හෙතෙම පැවැසීය.

'මම ශ්‍රී ලංකා පිලේ නායකත්වය භාරගත්තේ මාස 12ක කාලයකටයි. එය මේ තරග සංචාරයෙන් පසු නිමාවෙනවා. මේ සංචාරයෙන් පසු තව දුරටත් නායකත්වයේ රැඳී සිටීමට මට අවශ්‍ය නෑ. ' ඔස්ට්‍රේලියාව සමග අද තම 136වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මහේල කීවේය.

'තරුණ නායකත්වයක් කරා අපි යොමුවිය යුතුයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටියදීම යොවුන් ක්‍රීඩකයෙකුට නායකත්වය ලැබීම ‍කණ්ඩායමට හොඳයි. අපේ සහයෝගයත් ලැබෙන නිසා ඔහුට එය පහසුවේවි.' ඔහු සඳහන් කළේය.

තමාගෙන් පසුව නායකත්වය සඳහා පැහැදිලි තේරීම 25 හැවිරිදි මැතිව්ස් බවත් ඔහු කීවේය.

'ඇන්ජෙලෝට නායකත්වය ලැබෙනවා නම් හොඳයි‍. කුමාර් සංගක්කාර, ඩිල්ෂාන් සහ මම ඉන්න නිසා අපට පුලුවනි බැරෑරුම් අවස්ථාවලදී ඔහුට සහාය වෙන්න. කාලයක් ගියාට පස්සේ ඔහු තමන්ට අවශ්‍ය විදිහට නායකත්වයට හැඩ ගැසේවි.'

'මම හිතන්නේ මේක තමයි නිවැරැදි වෙලාව. ලබන අවුරුද්දේ අපට වැඩිපුර ටෙස්ට් තරග නෑ. දීර්ඝ තරග සංචාර නෑ. ඉතින් ඇන්ජෙලෝට නායකත්වය ලැබෙනවානම් එය ඔහුට පහසුදායක ආරම්භයක් වේවි.' මහේල පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all