Photobucket

Monday, December 10, 2012

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අඛණ්ඩ වර්ජනයකට අරඅඳී

ඉල්ලීම් 03 ක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙසැම්බර් 10 වැනි දින සංකේත වැඩ වර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත්,තම ඉල්ලීම් ඉටු නොවුණහොත් ලබන 17 වැනි දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යොමු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කාර්යාල දීමනා ලෙස රජය දැනට ගෙවනු ලබන්නේ මාසිකව රුපියල් 100 ක දීමනාවකි. මෙම දීමනාව ග්‍රාමීය ප්‍රදේශ සඳහා රුපියල් 1000 බැගින්ද, නාගරික ප්‍රදේශ සඳහා රුපියල් 1500 බැගින්ද වැඩි කර ලබා දෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම දැනට ඉන්ධන දීමනාවක් තමන්ට නොලැබෙන බැවින් ඉන්ධන සඳහා රුපියල් 5000 ක දීමනාවක්ද ලබා දෙන ලෙස ඉල්ලා ඇත.නිල ඇඳුම් දීමනාව ලෙස රුපියල් 15,000 ක් ලබා දෙන ලෙස ඉල්ලා තිබූ නමුත් එම දීමනාව රුපියල් 12,000 ක් ලෙස ලබා දීමට පසුගිය ජුලි 24 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟ වී ඇත. නමුත් එම දීමනාවද මෙතෙක් ලැබී නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

නිල ඇඳුම් දීමනාව අය - වැයට පෙරත් සෙසු ඉල්ලීම් ඊට පසුවත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟ වූ නමුත් අය - වැය ලේඛණයේ ඒ සම්බන්ධ කිසිවක් සටහන් නොවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටී. දෙසැම්බර් 10 වැනි දින දිවයින පුරා සෞඛ්‍ය සතිය ආරම්භ වන බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලා එදින එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වා ඉල්ලීම් නොලැබෙන්නේ නම් දෙසැම්බර් 17 වැනි දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යොමු වන බවත්,ඊට දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1700 ක් සහභාගි වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා සඳහන් කරයි.

ජුඩ් සමන්ත 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all