Photobucket

Wednesday, December 19, 2012

ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන වැදගත් තොරතුරු හෙළිවේ

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ‍පොලිස් කණ්ඩායමට ඉතා වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. ඒ අනුව ඉදිරියේදී කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න රාශියක් සිය සිසුන්ට ලබාදුන් උපකාරක පන්ති ගුරුවරයා මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ අයෙක්ද අත්අඩංගුවට ගන්නා අය අතර, සිටිය හැකි බවට විශ්වාස කළ හැකි තොරතුරු ‍පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ලැබෙමින් තිබේ.

විභාග ප්‍රශ්න පත්‍ර වංචාව පිළිබඳ පරීක්ෂණ පවත්වන ‍පොලිස් කණ්ඩායම මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසකගෙන්ම ප්‍රශ්න කොට ඇති අතර, ඒ අය අතර, විද්‍යා විෂය භාර නිලධාරිනියද සිටින බව සඳහන්ය. විභාග ප්‍රශ්න පත්‍ර සකස් කර එය මුද්‍රණයට යැවීමට පෙර ගබඩා කර තැබෙන පරිගණකය පවා පරීක්ෂාවට මේ වන විට ලක්ව තිබෙන අතර, ඉදිරි දින කිහිපය තුළ එකී පරිගණකයේ ක්‍රියාකරුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ දෙවැනි දිනයටත් ඊයේ (18) අදාළ උපකාරක පන්ති ගුරුවරයාගෙන් ප්‍රශ්න කෙරුණු බවය. දීර්ඝ ලෙස කෙරෙන එම ප්‍රශ්න කිරීම් ඊයේ  රාත්‍රිය වන තුරුම පැවැතුණි.

ගුරුවරයා විසින්  එම ප්‍රශ්න අනුමාන කර පැරණි විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාකොට ඒවායින්ද තොරතුරු ලබාගෙන සකස් කළ බව සඳහන් කළද ඔහුගේ අනුමාන විභාග ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න 40න් 18ක්ම ඒ ආකාරයෙන්ම විභාගයට දුන් ප්‍රශ්න පත්‍රයේ තිබිම අහඹු ලෙස සිදුවිය නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මතෛක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත. විභාගයට පැමිණි ප්‍රශ්න පත්‍රයේ සටහන් එම ප්‍රශ්න 18ම උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ තිබෙන්නේද ප්‍රශ්නය ඉදිරිපිට “සිනා මුහුණක්” සලකුණක් තබාය. විභාගයට පැමිණෙන ප්‍රශ්න පත්‍රවල පමණක් උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ “සිනහා මුහුණ” තිබිමද අහඹු සිදුවීමක් වීමට කිසිසේත්ම ඉඩ නොමැති බව පැහැදිලි කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේද නිලධාරීන්ගේ මතය වී තිබෙන්නේ විද්‍යා ප්‍රශ්න පත්‍රය හෝ එහි ඇති  ප්‍රශ්න විභාගයට පෙර මෙම උපකාරක පන්ති ගුරුවරයා අතට පත්ව තිබෙන බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට හෙළිකර ගන්නට උත්සාහ කරමින් සිටින්නේ එම ප්‍රශ්න පත්‍රය හෝ ප්‍රශ්න ටික උපකාරක පන්ති ගුරුවරයා අතට ලැබුණේ කාගෙන්ද යන්න පිළිබඳවය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all