Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label සාහිත්‍ය/කලා. Show all posts
Showing posts with label සාහිත්‍ය/කලා. Show all posts

සිනමා ඉතිහාසයේ දුෂ්ටතම චරිතය මගෙ රංගන ජීවිතය වෙනස් කළා

Monday, September 28, 2015

රවීන්ද්‍ර රන්දෙණිය දශක 5කට කිට්ටු කාලයක් සිංහල සිනමාව තුළ රංගන ප්‍රතිභාවය සනිටුහන් කළ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට එකතුවුණාට ඔහුගේ කැමැත්ත මුලින්ම තිබිලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ලයනල් වෙන්ඩ්ට් ආයතනයෙන් පැවැත්වුණු නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවු: 3ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඔහු යොමු වුණේ ඒ නිසයි. එම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ශිෂ්‍ය පිරිසට නාට්‍යයක් වේදිකාගත කරන්න සිදුවී තිබෙනවා. එදා ඔවුන් රඟ දැක්වූවේ මූදු පුත්තු වේදිකා නාට්‍ය. නාට්‍ය අවසානයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්, මණික් සන්ද්‍රාසාගර වැනි අය වේදිකාවට පැමිණ රවීන්ද්‍ර රන්දෙණියට සුබ පැතුවේ ඔහුගේ රඟපෑම විශිෂ්ට මට්ටමක තිබුණු නිසයි.

ඊට පසුව තමයි මණික් සන්ද්‍රාසාගර ඔහු අධ්‍යක්ෂණය කළ කළුදිය දහර චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියව තෝරා ගන්නේ. කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ලාම රවීන්ද්‍රට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. තරංගා, දෑස නිසා, දුහුළු මලක්. ඒ විදිහට ලැබුණු චිත්‍රපට කීපයක් විතරයි. හැබැයි කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්න ඉස්සෙල්ලා තරංගා චිත්‍රපටය තිරගත වුණා.

“මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරනවා නම් දෑස නිසා ගැන සඳහන් කරන්නම වෙනවා. නිධානය, ගම්පෙරළිය, රේඛාව වැනි චිත්‍රපට බිහිකරපු අති දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මා ගැන තබපු විශ්වාසය මම අදටත් අගය කරනවා. පෙම් ජවනිකාවලට සීමා නොවී වෙනස්ම ආකාරයේ රංගන ෙශෙලියකට මාව යොමු කළේ එතුමා. සාර්ථක නළුවෙකුට ඒක හුඟක් තදින් බලපානවා. “දෑස නිසා” චිත්‍රපටයේ තාපසයාගේ චරිතය රඟපාන්න ලැබිම ගැන ඔහු සඳහන් කළේ ඒ විදිහට.
ඊට පසුව සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය රඟපාන්න ලැබිමෙනුත් රවීන්ද්‍ර රන්දෙණිය නළුවාගේ රංගන ජීවිතය වෙනස් මගකට යොමු කළා.

“ඒ වන විට මම ක්‍රියාදාම චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒත් සිරිපාලගේ චරිතය මගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. යන කෝච්චිවලින් පනින්න, කැ‍ලේ හැංගිලා ඉන්න, වෙඩි තියන්න වගේ දෙවල් සිරිපාලගේ චරිතයත් එක්ක කරන්න සිද්ධ වුණා. ඒ නිසා සිරිපාලගේ චරිතයත් මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට මම සලකනවා.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ පුරන් අප්පුගේ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාව හිමි වුණේ සිරිපාලගේ චරිතය රඟපෑ නිසා බවයි.

දෑස නිසා, සිරිපාල හා රන්මැණිකා යන චිත්‍රපටවල රඟපෑම් ගැන ඔහු සඳහන් කළත් රවීන්ද්‍ර රන්දෙණිය යන නළුවාගේ අද්විතීය රංගනය විදහා පෑ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔහු පිළිගන්නේ “දඩයම” චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයයි.

“වසන්ත ඔබේසේකර මට කිව්වා දරුණු, දුෂ්ට චරිතයක් තියෙනවා. ඒක භාරගන්න කියලා. ඒ චරිතයට  දුෂ්ට නළුවකුව ගත්තොත් අන්තිමට සිද්ධ වෙන්නේ තරුණියව මරා දමන බව කල්තියාම ප්‍රේක්ෂකයින් දැන ගන්න නිසා එහෙම නළුවෙකුව යොදා ගන්නේ නැතිව මම වගේ නළුවෙකුව යොදා ගන්න වසන්ත ඔබේසේකර තීරණය කරලා තිබුණා. කවදාවත් මට පෙම්වතා හෝ වීරයා වීමේ හෝ ප්‍රතිරූප මවාගැනීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ චරිතාංග නළුවෙකු වෙන්න. ඒ නිසා මම ඒ දුෂ්ට චරිතය රඟපෑමේ අභියෝගය භාරගත්තා. හැබැයි තිරපිටපත කියෙව්වාම නම් මගේ ඔළුව ගිනිගත්තා.” යනුවෙන් රවීන්ද්‍ර රන්දෙණිය සිය හැරවුම් ලක්ෂ්‍යය වූ චරිතය භාරගත් හැටි විස්තර කළා.

80 දශකයේදී සිනමා විචාරකයන් පවසා තිබුණේ ජයනාත්ගේ චරිතය තරම් දුෂ්ට, දරුණු චරිත රංගනයක් එතෙක් සිනමාවේ නොතිබුණු බව. ගුරුවරයකු වූ ජයනාත් පාසල් සිසුවියක් රවටා ඇයව ගැබ් කර පලා යෑමෙන් ඇගේ මුළු පවුලම විනාශ වෙනවා. ඊට පසුව ඔහු ඇයව යළි රවටා දෙවැනි වතාවටත් ගැබ් ගන්වා අවසානයේදී ඇයව මරා දමනවා. ඇයව ඔහුගේ රථයට යට කර කීප වරක් රථය ඇගේ සිරුර මතින් යවා ඇයව මරණයට පත්කිරීමේ කෲරත්වය සිය රංගනය තුළින් ඉස්මතු කිරීම ඇත්තටම රවීන්ද්‍ර රන්දෙණියට ලොකු අභියෝගයක් වුණා. එහෙත් වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂවරයා සතු හැකියාව නිසාම ඔහුගේ රංගනය සාර්ථකව උකහා ගත් බවයි රවීන්ද්‍ර රන්දෙණිය සඳහන් කළේ. ඔහු පැවැසුවේ වසන්ත ඔබේසේකර දඩයම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඊට පෙර එම චිත්‍රපටය නරඹා තිබූ කෙනෙකු විදිහට බව.

“දඩයම චිත්‍රපටයේ කාර් එකේ ඉදිරිපස වීදුරුව ස්වර්ණ කුඩු කරන දර්ශනයක් තිබෙනවා. ඒ වෙලාවේ වීදුරුව කෑලි කෑලිවලට කැඩිලා මගේ ඇස් තුවාල වී අන්ධවීමේ අවදානමකුත් තිබුණ. කාර් එකේ ගියර් මාරු කරන විට මගේ අතින් ගලා යන ‍ලේ සමීප රූප රාමුවකින් පෙන්වුවා. ඒ පෙන්වූවේ ඇත්තටම මගේ අතින් ගලා ගිය ‍ලේ. යාල වනෝද්‍යානය ළඟින් කළපුවට යන පාරේ තමයි ඒ දර්ශනය රූගත කළේ. අධික වේගයෙන් වාහනය ධාවනය කිරීමේ ත්‍රාසජනක අවස්ථාවට එදා මම කෙළින්ම මුහුණ දුන්නා.” ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය කෲරත්වය රංගනය තුළින් මතු කළ හැටි විස්තර කළා.

ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියට හොඳම නළුවාට පිදෙන ඕ.සී.අයි.සී. සම්මානය සිරිපාලගේ චරිතයට හිමිවී තිබුණත් හොඳම නළුවා විදිහට සරසවි, ජනාධිපති සම්මාන ප්‍රථම වතාවට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමට. මායා, සාගර ජලය මදි හැඬුවා, සුරබිදෙන, සිරිමැදුර වැනි චිත්‍රපට රාශියක සංකීර්ණ චරිත නිරූපණය කිරීමේ අවස්ථා ඔහුට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවයි.
Read Post | comments

ඔස්කා තරුව සම්මානය දැක දැක ඇද වැටෙයි

Monday, March 11, 2013

මෙවර ඔස්කා සම්මාන උලෙළේ දී හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ ජෙනිෆර් ලෝරන්ස්. ඒ ඇය ‘සිල්වර් ලයිනින්ස් ප්ලේ බුක්’ චිත්‍රපටයේ නිරූපණය කළ චරිතය වෙනුවෙන්.

ජෙනිෆර් තම සම්මානය ලබා ගැනීමට වේදිකාවේ පියගැට පෙළ මතින් ගමන් කරද්දී ඇද වැටුණා. නමුත් ඇයට කිසිදු තුවාලයක් සිදුවුණේ නැහැ. සම්මානය දෝතට ගත් ඇය පේ‍්‍රක්ෂකාගාරය අමතමින් පැවසූ වචන කිහිපයේ දී සැලකිය යුතු අත්වැරදීමක් සිද්ධ වුණා. ‘සිල්වර් ලයින් ප්ලේ බුක්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ඕ. රසල්ට සහ එහි නිෂ්පාදක හාවේ වීන්ස්ටීන් හට තම ස්තුතිය පුද කරන්නට ඇයට අමතක වුණා.

කොහොම වෙනත් ඉන් පසුව ඇමරිකානු මාධ්‍ය ඇමතූ ඇය චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාට ස්තුතිය පළ කර සිටියා. තවමත් 22 වැනි වියෙහි පසුවන ජෙනිෆර් පැවසුවේ හොඳම නිළියට හිමිවන ඔස්කා සම්මාන දිනා ගත් මොහොතේ දී තමන්ට කිසිවක් සිතා ගන්නට නොහැකි වූ බවයි.
Read Post | comments

රණ්ඩු වෙවී යාළු වෙවී...

රොබට් පැටින්සන් සහ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් යුවළ ද විරසක වූ පෙම් යුවළක්. පසුගිය දා පැවැත්වුණු ඔස්කා සම්මාන උලෙළට දෙදෙනාම සහභාගි වුණා. නමුත් එකට සහභාගි වුණේ නැහැ. මේ සිනමා සම්මාන උලෙළේදී රොබට් නිවේදකයෙකු ලෙස ද කටයුතු කළා. ක්‍රිස්ටීන් ඔහු දෙස බලා සිටියා. සම්මාන උලෙළින් පසුව ක්‍රිස්ටීන් ඔහුව දුටුවේ නැහැ.

ඇයට අවශ්‍ය වුණේ කෙසේ හෝ රොබට් වෙත ඇමතුමක් දෙන්නයි. ඇයගේ උත්සාහය සඵල වුණා. ඇය අමතන විට ඔහු සිටියේ ඔස්ට්‍රේලියාවේ. ඒ ‘ද රෝවර්’ නම් වූ චිත්‍රපටයේ රූපගත කිරීම්වල යෙදී සිටිද්දීයි. ක්‍රිස්ටීන් ගෙන් ලද දයාබර ඇමතුම ඔහු මුළු හදවතින්ම පිළිගත්තා. ඇය සමඟ සෑහෙන වේලාවක් කතා කළා.

රොබට් ඒ මොහොතේ නුදුටු විශේෂ දෙයක් තිබුණා. ඒ තමයි ක්‍රිස්ටීන් ගේ ඇඳුම. ඇය ඔහුට දුරකථනයෙන් අමතද්දී ඇය හැඳී සිටියේ ඔහුගේ ටී ෂර්ට් එකක්. සමහරවිට පසුව මේ බව රොබට් දැනගන්න ඇති. ක්‍රිස්ටීන්ගේ ආදරයේ තරමත් තේරුම් ගන්න ඇති.
Read Post | comments

සජීවී සිංහල ක්‍රිකට් විචාරයේ පාලිත පෙරේරා නොදැවී 50යි

Sunday, March 10, 2013

ගුවන් විදුලි ක්‍රිකට් ඉතිහාසයේ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ   සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පසුගියදා නිමාවූ ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයට සැමගේ අවධානය යොමු විණ. හරියටම 1963 මාර්තු මස දී පළමුවෙන්ම දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරා 84 වෙනි ආනන්ද, නාලන්ද මහා තරගයේදී සිය පනස් වසරක අඛණ්ඩ කාර්යභාරය සම්පූර්ණ කළේ විස්තර කථනයෙන් සජීවීව සම්බන්ධ වීමෙනි. සජීවී ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයට ලාංකික හඬ එකතු කරන්නට ඔහුට හැකි වීම අප සැම ලැබූ භාග්‍යයකි. ඒ දක්වා කරුණාරත්න අබේසේකරයන් විසින් ආනන්ද නාලන්ද මහා තරගයේ අවසන් දිනයේ විනාඩි 45ක කාලයක් සජීවී ප්‍රචාරය ලබා දී තිබුණි. 1960-1962 වර්ෂවල නාලන්ද පළමු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ පාලිත පළමුවෙන්ම සජීවී ප්‍රචාරයක් ගෙන එන්නේ 1963 දී කොළඹ ඕවල් ක්‍රීඩාංගණයේ සිට ආනන්ද නාලන්ද තරගයකදීමය. ආනන්ද විදුහ‍ලේ ගණිත  ගුරුවරයෙකු වූ රගුනාත් වීරසිංහ මහත්මා ඔහුගේ අනෙක් සිංහල නිවේදකයා විය. එම තරගයේ ආනන්ද විදුහ‍ලේ නායකත්වය දැරුවේ අශෝක පෙරේරාය. නාලන්දයේ නායකයා වූයේ සරත් විමලරත්නය.

එතෙක් කල් ගුවන් විදුලියෙන් ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රිකට් ඇසූ ලාංකිකයන්ට නවමු සිංහල වදන් සමගින් ඔහු කළ වික්‍රමය මහත් සතුටක් ගෙන දුන්නේය.  1963 වසරේ එදා එම පළමු විස්තර ප්‍රචාරයට සවන් දුන් අය අතර “ලක්බිම” ප්‍රධාන කර්තෘ වන සුන්දර නිහතමානි ද මැල් මහතා වෙයි. එතුමා තම 8 වසරේ ඉගෙනුම ලබන අයියා සමග එය අසද්දී පුදුමයට පත් වූ බවත්, 5 වසරේ ඉගෙනුම් ලබමින් සිටි ඔහු එය ඇසුවේ පිලිප්ස් වර්ගයේ වෑල්ව් රේඩියෝවකින් බවත් පසුගිය සතියේ ඉරිදා ලක්බිම කතු වැකියේ සඳහන් කර තිබුණි.

එදා 1963 ඕවල් ක්‍රීඩාංගණයේ දර්ශන තිරය පසෙකින් පකිස් පෙට්ටියක් මත පුටුවක් තබාගෙන පාලිත විසින් කථනය කරද්දී අව් රශ්මියෙන් වැළකීමට කුඩය ඔසවාගෙන සිටියේ නිවේදක රගුනාත්ය. ඉන්පසු රගුනාත්ට සෙවණ දුන්නේ පාලිත ඔසවාගෙන සිටි කුඩයයි. දෙමළ හෝ ඉංග්‍රීසි නිවේදන නොතිබුණු අතර පුරා දෙදිනක් පැය 12ක කාලයක් ඔවුන් දෙදෙනා නොකඩවා තරගය පිළිබඳ සජීවි ප්‍රචාරය ගෙන ගියේ අද මෙන් විශේෂ වායුසමීකරණ කුටි හෝ වේදිකාවක් හෝ නොමැතිවය.

එම ක්‍රීඩා විචාරයට වසර 9ක් සම්පූර්ණ වෙද්දී ගුවන් විදුලි ක්‍රිකට් විස්තර විචාරයට ප්‍රේමසර ඈපාසිංහ යන වටිනා නිවේදකයා 1972 සම්බන්ධ වන්නේ රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේදී පාලිත සමගිනි. මොවුන් දෙදෙනා යටතේ මේ වන විටදී බිහිවී ඇති දක්ෂ නිවේදකයින් බොහෝ දෙනෙක් අද ලාංකිකයන්ගේ සවනට නිරතුරුවම සජීවී ක්‍රිකට් ප්‍රචාරයන් ගෙන එති.

ගම්බද ප්‍රදේශයකදී පාලිත දකින වැට මායිමේ ඇති දර්ශනය සමගින් “කඩුල්ල” යන වචනය සිංහල ක්‍රිකට් විස්තර විචාරයට එකතු කරද්දී තවත් වචන ගණනාවක් සජීවී ප්‍රචාරයට ගෙන එන්නේ ලාංකික අනන්‍යතාවයක් ක්‍රිකට් භාෂාවට  එකතු කරමින්ය. එයින් ලද ජීවය දේශීය අසන්නන්ට ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් සමීප කරලීය. ගමෙන් නගරයට ක්‍රිකට් ගෙන යන්නට ඔවුන් කළ මෙහෙය වැදගත්ය.

කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අට්ටාලයක හිඳ හේනේ අට්ටාලයට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යන්නට ගුවන් තරංගවලට තම හඬ මුසු කළේ හෙළ ජන සාහිත්‍යයේ අපූරු සුන්දර වැකි යොදා ගනිමිනි. අද මෙන් රූපවාහිනිය වටා රොක් වී අනවශ්‍ය ලෙස කාලය නොගෙවූ ක්‍රීඩාලෝලීන් විස්තර ප්‍රචාරද අසමින් තම ෙදෙනික කටයුතුවල නිරත වූහ.

කිසිදු දිනක ක්‍රිකට් ක්‍රීඩා පිටිය නොදුටු ඈත පිටිසර ගැමි ජනතාවගේ හදවත් තුළ “ක්‍රිකට් පිටියක් තැනීමට” ඔහුට හැකි වූයේ සරල සුගම වචන සමග දේශීයත්වයේ හඬ අව්‍යාජව, ගුවන් තරංග තුළ  මුසුකළ බැවිනි. ඔහුගේ භාෂා දැනුම, උගත්කම තුළ ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයකු ලෙස ගමන් කිරීමට තිබූ අවස්ථාවද ලාංකික අප වෙනුවෙන් කැප කළ බව සිතේ.

ක්‍රිකට්වලින් නොනැවතුන ගුවන් විදුලිය, එල්‍ලේ, වොලිබෝල්, මෙන්ම සෑම ක්‍රීඩා ඉසව්වකටම තම සජීවීකරණ හඬ එකතු කරන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට සමීප වෙමින්ය. වෙල්යායක හෝ ක්‍රීඩාංගණයක අඩි 15 පමණ උසට තට්ටු 02කින් පමණ තැනූ ලී අට්ටාලයේ සිට ගුවන් විදුලි තරංග ඔබ නිවසට පා කර එවීමට ඔවුන් වෙහෙස විය.

විදේශීය තරග සංචාරයන් හිදී ද ශ්‍රී ලාංකික දස්කම් අප වෙතට ගෙන ඒමට කළ සේවයට අප සැමගේ කෘතගුණතාවය ඔවුනට හිමි විය යුතුය. 1980 දශකයට පෙර ගුවන් විදුලිය නොවන්නට එවන් දසුන් සජීවීව මවන්නට වෙනත් මාධ්‍යයක් නොමැති විය. ගුණාත්මක කථනයන් උදෙසා ඔවුන් දැරු වෙහෙස කතෛක්ද, යත් ආකර්ෂණීය ගුවන් විදුලි හඬ රූපවාහිනියේ දසුන් සමග නැරඹීමට ප්‍රේක්ෂකයින් අද ද පුරුදු වී සිටින්නෝය.

මා මේ වටිනා කාර්යභාරයේ නියමුවා වූ අදටත් ක්‍රිකට් සමග සජීවීව සම්බන්ධ පාලිත පෙරේරා සොයා එස්.එස්.සීයට පිය නැගුවේ ඔහුගේ සුවිශේෂී කාර්යභාරයේ සටහන් ඔබ වෙත රැගෙන ඒමටය. මියුසියස් විදුහ‍ලේ ගුරුතුමියක් වූ දයාබර බිරිඳ ලීලා පෙරේරා මහත්මිය සමග පිටියට පැමිණ සිටියදී පාලිත පෙරේරා හමුවීම සුවිශේෂී විය.

නාලන්දාවේ නලින් අ‍පොන්සුගේ ආරාධනයෙන්, පාලිතයන් සමග මා අට්ටාලයට පිය නැගුවෙමි. ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයේ ආනන්දයේ පළමු ඉනිමේ ජයග්‍රහණය සටහන් කරමින් පන්දුවෙන්  පන්දුවට විස්තර සජීවීව ගෙන එමින් මේ ඔහු සටහන් කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ 50 වසරක සිංහල ක්‍රිකට් විස්තර විචාරයේ කඩඉමයි. වසර 70 වන ඔහුගේ දිවියේ 50 වසරක නොනිමි මෙහෙවර ක්‍රීඩාලෝලීන් සතුටින් ගුවනින් අසද්දී ඓතිහාසික අවස්ථාවට එකතු වන්නේ ගුවන් විදුලියේ කැලුම් විජේසිංහ, ඕවිරි කුරුප්පු මෙන්ම පාලිත පෙරේරාම බිහි කළ නාලන්දයේ නලින් අ‍පොන්සුය.

නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙස මා ද අයි.ටී.එන්. හි වීඩියෝ ශිල්පියාද ලබාගත් දසුන් අද ඔබ අප සැමගේම වටිනා සිහිවටනයන්ය. වසර 08 පමණ කුඩා ශිෂ්‍යයකු ලෙස ඔහුගේ ක්‍රීඩා විචාරය ඇසූ පළමු කාලයේ සිට අද දක්වා නොනැවතී එක ලෙස ගලා යන අව්‍යාජ ස්වරය සහ ජීවය මැදි වයසේ දී ඔහු ළඟටම වී ඇසීමට මා පිං ලදිමි. මා 4 වසර ශිෂ්‍යයෙකුව සිටියදී පළමුවෙන් ක්‍රිකට් තරග ඇසුවේ රේඩියෝව සෙල්ලම් ගෙදර තුළ තබාගෙනය. ගසක අට්ටාලයක් තනා ඒ තුළට රේඩියෝව රැගෙන ගොස් ඇසුවේ අම්මාගෙන් බැණුම් අසමිනි.

නෙතඟ වෑහෙන සතුටු කඳුළු සමග ඔහුගේ වචන එක දිගට ආයාසයකින් තොරව ගලා යයි. පාලිතගේ ආරක්ෂණීය වදන් මාලාවේ හඬ ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට සැමදා අවැසි විය. ඔහුට ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද එක ලෙස  ඇළුම් කළහ.  පර්සි අබේසේකරත්, පාලිත පෙරේරාත් තරගයකදී මෑතකදී හමු වූ විටදී මා ඇසුයේ ඔබලා  මෙතරම් තරුණ ලෙස ජීවත් වන්නේ කෙලෙසද යන්නයි. “සිතිවිලි යහපත් නම් නිරෝගී නම් ජීවිතය ලස්සනයි” 
පාලිතගේ  පිළිතුර විය. සිතුණ දෙය අපට දුන් සැම විටම නොබියව පෑන හැසිරවූ ඔහුගෙන් විවිධ වූ ක්ෂේත්‍රයන් ‍පෝෂණය විය.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාපිටියේ 2013 මාර්තු 03 දින තේ පානයෙන් පසුව, අප ආදරය දිනූ පාලිත පෙරේරා සිය 50 වසරක ක්‍රිකට් මතක සටහන් අවදි කරමින් සාරාංශ ගත කරන ලද ගුවන් විදුලියේ සජීවී ප්‍රචාරක ඉතිහාසයට සවන් දුන් සැවොම, ගුවන් විදුලියේ සැම කළ සේවයට නිහඬව ගෞරවය පුද කරනු නොඅනුමානය. පාලිතයන්ගේ අඩසියවසක දැවැන්ත මාධ්‍ය මෙහෙවර අගය කරමින් ආනන්ද-නාලන්ද ඒකාබද්ධ කමිටුව සජීවී ක්‍රිකට් විස්තර ප්‍රචාරයක් සඳහා ඔහුට ආරාධනය කිරීම   පිළිබඳ සැමගේ ස්තූතිය ඔවුනට හිමිවිය යුතුය. නොසිතූ ලෙස තරගය තේ පානයෙන් පසු නතර කරනු ලැබූවත් එයට පෙර මාධ්‍ය දිවියේ  වඩාත් ආදරය කළ සජීවි ක්‍රිකට් ප්‍රචාරය අප වෙනුවෙන් ගෙන ඒමට ස්වභාවධර්මය ඔහුට ආශීර්වාද කළේය. පුරා වසර 50ක් අඛණ්ඩව ක්‍රිකට් සිංහලෙන් ගෙන එන්නට ඔහු කළ කැපවීම පිළිබඳ සමස්ත ක්‍රීඩාලෝලීන් තුළ ඇත්තේ අපමණ ගෞරවයකි. දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන ඔහු අද ද මාධ්‍යකරණයේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැප වෙයි. සංවේදී හදවතක් හිමි මානව දයාවෙන් පිරිපුන්, නිහතමානී කලාකරුවෙකු ඔහු තුළින් බිහිවීමට ඉඩ හසර හෙළිකළ ලක් මවට ඔහු පෙරළා යුතුකම් ඉටුකර හමාරය. අද දින මාධ්‍යකරණයේ යෙදෙන අප සැමට ඔහු වැනි ගුරුවරයෙකුගෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝය.

“මේ දක්වා මාගේ 50 වසරක සජීවි ක්‍රිකට් ප්‍රචාරයේදී මා හා එක්වුණු ශ්‍රී ලංකාවේ සතර  දිසාවේ ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ වෑල්ව් හෝ ට්‍රාන්සිස්ටර් රේඩියෝවක තුළින් මගේ හඬ ඇසුවා නම්, මට ආදරය කළා නම් එයට මා ණයගැතියි. ඔබ සියලුම දෙනාට ස්තූතියි” කියමින් එදා මෙදා තුර සහය දුන් සමස්ත ගුවන් විදුලි කාර්ය මණ්ඩලයට ද ස්තූති කරමින් සතුටු කඳුළු පිරි දෙනෙතින් පාලිත පෙරේරා ක්‍රීඩා අට්ටාලයෙන් නික්මිණි.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ යුග මෙහෙවර අගය කරමින් පාලිත පෙරේරා ඇතුළු සමස්ත නිවේදකයින්ට ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රණාමය පුද කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයට පාලිත පෙරේරා කළ කැපවීම තුළින් ඔහු ලද ආදරය, ඉතිහාසයේ නොමැකී පවතින නිහඬ උපහාරයක් වනු ඇත.
Read Post | comments

සෙලීනා ආයෙත් අලුත් වෙලා

ජස්ටින් බීබර් සහ සෙලිනා ගෝමස් යොවුන් පරපුර අතර ඉහළම ජනපි‍්‍රයත්වයක් දිනාගත් සුපිරි ගායක ගායිකා දෙපළක්. මේ දෙදෙනා සැබෑ ලොව පෙම්වතුන් ලෙසින් කාලය ගත කළා. මෑතක සිට දෙදෙනා විරසක වී සිටින බව රහසක් නොවෙයි. 

කලකට ඉහත දී සෙලිනා සමඟ ගී ගැයූ සංගීත කණ්ඩායම ද ඇයගෙන් වෙන් වුණා. දැන් නැවතත් මේ සංගීත කණ්ඩායම සෙලිනා සමඟ එක්වී සිටිනවා. සංගීත කණ්ඩායම ඇය වෙතින් ඉවත් වුණේ ඇය ගී ගැයීමට වඩා සිනමා රංගනය දෙසට සිත යොමු කිරීම නිසයි.

“දැන් අපි ආයෙමත් එකතු වෙලා. ඒක මගේ සංගීත ජීවිතයටත් රසික රසිකාවියන්ටත් සතුටුදායක කාරණයක්. මම මේ හැමෝටම ආදරෙයි.” සෙලිනා මේ බව සටහන් කර තිබුණේ තමන්ගේ ට්විටර් වෙබ් පිටුවේ.

නුදුරු දිනයක දී තමන්ගේ තවත් ගීත එකතුවක් නිකුත් වන බවත් සෙලීනා සටහන් කර තිබුණා. මේ ගීත එකතුවත් සමඟම සෙලීනා නවතාවකින් යුතුව රසික පරපුර අතරට එක්වේවි දැයි කවුරුත් විමසනවා.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all