Photobucket

Monday, September 28, 2015

සිනමා ඉතිහාසයේ දුෂ්ටතම චරිතය මගෙ රංගන ජීවිතය වෙනස් කළා

රවීන්ද්‍ර රන්දෙණිය දශක 5කට කිට්ටු කාලයක් සිංහල සිනමාව තුළ රංගන ප්‍රතිභාවය සනිටුහන් කළ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට එකතුවුණාට ඔහුගේ කැමැත්ත මුලින්ම තිබිලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ලයනල් වෙන්ඩ්ට් ආයතනයෙන් පැවැත්වුණු නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවු: 3ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඔහු යොමු වුණේ ඒ නිසයි. එම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ශිෂ්‍ය පිරිසට නාට්‍යයක් වේදිකාගත කරන්න සිදුවී තිබෙනවා. එදා ඔවුන් රඟ දැක්වූවේ මූදු පුත්තු වේදිකා නාට්‍ය. නාට්‍ය අවසානයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්, මණික් සන්ද්‍රාසාගර වැනි අය වේදිකාවට පැමිණ රවීන්ද්‍ර රන්දෙණියට සුබ පැතුවේ ඔහුගේ රඟපෑම විශිෂ්ට මට්ටමක තිබුණු නිසයි.

ඊට පසුව තමයි මණික් සන්ද්‍රාසාගර ඔහු අධ්‍යක්ෂණය කළ කළුදිය දහර චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියව තෝරා ගන්නේ. කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ලාම රවීන්ද්‍රට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. තරංගා, දෑස නිසා, දුහුළු මලක්. ඒ විදිහට ලැබුණු චිත්‍රපට කීපයක් විතරයි. හැබැයි කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්න ඉස්සෙල්ලා තරංගා චිත්‍රපටය තිරගත වුණා.

“මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරනවා නම් දෑස නිසා ගැන සඳහන් කරන්නම වෙනවා. නිධානය, ගම්පෙරළිය, රේඛාව වැනි චිත්‍රපට බිහිකරපු අති දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මා ගැන තබපු විශ්වාසය මම අදටත් අගය කරනවා. පෙම් ජවනිකාවලට සීමා නොවී වෙනස්ම ආකාරයේ රංගන ෙශෙලියකට මාව යොමු කළේ එතුමා. සාර්ථක නළුවෙකුට ඒක හුඟක් තදින් බලපානවා. “දෑස නිසා” චිත්‍රපටයේ තාපසයාගේ චරිතය රඟපාන්න ලැබිම ගැන ඔහු සඳහන් කළේ ඒ විදිහට.
ඊට පසුව සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය රඟපාන්න ලැබිමෙනුත් රවීන්ද්‍ර රන්දෙණිය නළුවාගේ රංගන ජීවිතය වෙනස් මගකට යොමු කළා.

“ඒ වන විට මම ක්‍රියාදාම චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒත් සිරිපාලගේ චරිතය මගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. යන කෝච්චිවලින් පනින්න, කැ‍ලේ හැංගිලා ඉන්න, වෙඩි තියන්න වගේ දෙවල් සිරිපාලගේ චරිතයත් එක්ක කරන්න සිද්ධ වුණා. ඒ නිසා සිරිපාලගේ චරිතයත් මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට මම සලකනවා.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ පුරන් අප්පුගේ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාව හිමි වුණේ සිරිපාලගේ චරිතය රඟපෑ නිසා බවයි.

දෑස නිසා, සිරිපාල හා රන්මැණිකා යන චිත්‍රපටවල රඟපෑම් ගැන ඔහු සඳහන් කළත් රවීන්ද්‍ර රන්දෙණිය යන නළුවාගේ අද්විතීය රංගනය විදහා පෑ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔහු පිළිගන්නේ “දඩයම” චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයයි.

“වසන්ත ඔබේසේකර මට කිව්වා දරුණු, දුෂ්ට චරිතයක් තියෙනවා. ඒක භාරගන්න කියලා. ඒ චරිතයට  දුෂ්ට නළුවකුව ගත්තොත් අන්තිමට සිද්ධ වෙන්නේ තරුණියව මරා දමන බව කල්තියාම ප්‍රේක්ෂකයින් දැන ගන්න නිසා එහෙම නළුවෙකුව යොදා ගන්නේ නැතිව මම වගේ නළුවෙකුව යොදා ගන්න වසන්ත ඔබේසේකර තීරණය කරලා තිබුණා. කවදාවත් මට පෙම්වතා හෝ වීරයා වීමේ හෝ ප්‍රතිරූප මවාගැනීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ චරිතාංග නළුවෙකු වෙන්න. ඒ නිසා මම ඒ දුෂ්ට චරිතය රඟපෑමේ අභියෝගය භාරගත්තා. හැබැයි තිරපිටපත කියෙව්වාම නම් මගේ ඔළුව ගිනිගත්තා.” යනුවෙන් රවීන්ද්‍ර රන්දෙණිය සිය හැරවුම් ලක්ෂ්‍යය වූ චරිතය භාරගත් හැටි විස්තර කළා.

80 දශකයේදී සිනමා විචාරකයන් පවසා තිබුණේ ජයනාත්ගේ චරිතය තරම් දුෂ්ට, දරුණු චරිත රංගනයක් එතෙක් සිනමාවේ නොතිබුණු බව. ගුරුවරයකු වූ ජයනාත් පාසල් සිසුවියක් රවටා ඇයව ගැබ් කර පලා යෑමෙන් ඇගේ මුළු පවුලම විනාශ වෙනවා. ඊට පසුව ඔහු ඇයව යළි රවටා දෙවැනි වතාවටත් ගැබ් ගන්වා අවසානයේදී ඇයව මරා දමනවා. ඇයව ඔහුගේ රථයට යට කර කීප වරක් රථය ඇගේ සිරුර මතින් යවා ඇයව මරණයට පත්කිරීමේ කෲරත්වය සිය රංගනය තුළින් ඉස්මතු කිරීම ඇත්තටම රවීන්ද්‍ර රන්දෙණියට ලොකු අභියෝගයක් වුණා. එහෙත් වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂවරයා සතු හැකියාව නිසාම ඔහුගේ රංගනය සාර්ථකව උකහා ගත් බවයි රවීන්ද්‍ර රන්දෙණිය සඳහන් කළේ. ඔහු පැවැසුවේ වසන්ත ඔබේසේකර දඩයම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඊට පෙර එම චිත්‍රපටය නරඹා තිබූ කෙනෙකු විදිහට බව.

“දඩයම චිත්‍රපටයේ කාර් එකේ ඉදිරිපස වීදුරුව ස්වර්ණ කුඩු කරන දර්ශනයක් තිබෙනවා. ඒ වෙලාවේ වීදුරුව කෑලි කෑලිවලට කැඩිලා මගේ ඇස් තුවාල වී අන්ධවීමේ අවදානමකුත් තිබුණ. කාර් එකේ ගියර් මාරු කරන විට මගේ අතින් ගලා යන ‍ලේ සමීප රූප රාමුවකින් පෙන්වුවා. ඒ පෙන්වූවේ ඇත්තටම මගේ අතින් ගලා ගිය ‍ලේ. යාල වනෝද්‍යානය ළඟින් කළපුවට යන පාරේ තමයි ඒ දර්ශනය රූගත කළේ. අධික වේගයෙන් වාහනය ධාවනය කිරීමේ ත්‍රාසජනක අවස්ථාවට එදා මම කෙළින්ම මුහුණ දුන්නා.” ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය කෲරත්වය රංගනය තුළින් මතු කළ හැටි විස්තර කළා.

ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියට හොඳම නළුවාට පිදෙන ඕ.සී.අයි.සී. සම්මානය සිරිපාලගේ චරිතයට හිමිවී තිබුණත් හොඳම නළුවා විදිහට සරසවි, ජනාධිපති සම්මාන ප්‍රථම වතාවට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමට. මායා, සාගර ජලය මදි හැඬුවා, සුරබිදෙන, සිරිමැදුර වැනි චිත්‍රපට රාශියක සංකීර්ණ චරිත නිරූපණය කිරීමේ අවස්ථා ඔහුට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all