Photobucket

Monday, February 18, 2013

ඉලෙක්ට්‍රොනික් අතක් ලබා දෙන බව ජනපති කීවා

තමාගේ අත අහිමි වීමේ සිද්ධියට අදාළ විද්වත් කමිටු වාර්තාව පිළිබඳ දැඩි සතුට ප්‍රකාශ කරන බව කොළඹ නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී නීති සිසුවිය දිනමිණට පැවැසු‍වාය.

ස්වාභාවික අතක ක්‍රියාකාරිත්වයට ඉතා සමාන ඉලෙක්ට්‍රොනික් අතක් ලබා දෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති අතර එම අත ලබා ගැනීම සඳහා ජර්මනියට තව නොබෝ දිනකින් යාමට සූදානම් බව ද ඇය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ විද්වත් කමිටුව මඟින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අප හිතුවටත් වඩා හොඳින් සාධාරණ ආකාරයෙන් ගවේශනය කර කමිටු වාර්තාව සකස් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.මේ විද්වත් කමිටුව මඟින් තමාගෙන් ද ප්‍රකාශ ලබා ගෙන සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ගවේශනයක් සිදු කර ඇති බව ද ඇය කීය.

තම නිවෙසේදී ලිස්සා වැටීමෙන් අනතුරුව මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වම් අතේ සිදු වූ අස්ථි බිඳීමට ප්‍රතිකාර වශයෙන් අතට ප්ලාස්ටරයක් දැමූ බවත් ප්ලාස්ටරය දැමීමෙන් පසුව අතට බොහෝ වේදනාවක් දැනෙන බවට තමා රෝහල් කාර්ය මණ්ඩලයට නොපැවසූ බවත් ඇතැම් මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ බවත් අචලා මහත්මිය පැවැසුවාය. තැම් මාධ්‍ය මඟින් එසේ වාර්තා කර තිබුණත් මේ විද්වත් කමිටුව හරහා සැබෑ තත්ත්වය වාර්තා කර ඇතැයි ද ප්ලාස්ටරය අතට දැමුවාට පසුව තමාට වේදනාවක් දැනෙන බවට පැවසූ බව මේ විද්වත් කමිටු වාර්තාවේ සඳහන් වන්නේ යැයි ද ඇය ප්‍රකාශ කළාය. 

අතේ තුවාලය බොහෝ ‍දුරට සනීප වී ඇති බව ද මේ වන විට අතේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා යුද හමුදා රෝහලෙන් භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගන්නා බව ද ඇය කීය. මේ සිද්ධියට අඳාළ විද්වත් කමිටු වාර්තාව පිළිබඳ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කළේ, අදාළ වැරදිකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර මේ වන විට සකස් කරමින් පවතින බව ය. එම වාර්තාවට අනුව චෝදනා පත්‍ර සකස් කර ලබන සතිය තුළදී අදාළ චෝදනා පත්‍ර ඇතුළත් වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බාර දෙන බවත් ඒ මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය, නීති අංශය මඟින් මේ සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර සකස් කරන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවැසුවේය.

ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වාර්තා නොවීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත් ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all