කෞෂල්‍යා ප්‍රනාන්දුගේ අතීතාවර්ජනය
තාත්තා
පරිපාලන නිලධාරියෙක් නිසා අපි කාලයක් මතුගම හිටියා. ඒ මම
මොන්ටිසෝරි යන කාලේ. අම්මගේ හොඳම යාළුවගේ පුතා එක්‌ක බක්‌කි
කරත්තෙන් තමයි මොන්ටිසෝරි ඇරිලා ගෙදර යන්නේ. මට මතකයි අම්මා
කියනවා ඒ දවස්‌වල මට තිබුණේ පුදුම විසයක්‌ලු. මොන්ටිසෝරි ගිය
සමහර දාට අම්මා එක්‌කන් යන්න එනකන් මම ඉන්නේ යාළුවාගෙ ගෙදර.
එදාට අම්මා මාව එක්‌කන් යන්න ආවහම අම්මාගේ යාළුවා කියනවලු
සෝමලතා ඔය කෙල්ල අරගෙන පලයන් මගෙ කොල්ලට හති කියලා. මගේ කුඩාම
කාලේ මම ඒතරම් දඟ ළමයෙක්‌ලු. මතුගමින් අපි කෝට්‌ටේ රජමල්වත්ත
පාරේ නිවසට පදිංචියට ආවා. ඒ කාලය තමයි මගේ ජීවිතේ පුදුම රසයක්
වින්ද කාලය. ගැමි සුන්දරත්වයෙන් පිරිණු දියවන්නාව ඔය වටේට
තිබුණු වෙල්යාය ජීවිතේ අමතක නොවෙන සන්ධිස්‌ථාන. දවසක් මට
මතකයි අපේ ගෙවල් තිබුණු ප්‍රදේශ පොඩි වැස්‌සටත් ගංවතුරට
යටවෙනවා. එදා හොඳටම වැස්‌ස. අපේ යාළුවෝ සෙට්‌එකේ ළමයි දොළහක්
හිටියා. වතුර පිරිලා තිබුණු නිසා අපි හැමෝම දියවන්නා ඔය දිගේ
ඇවිදගෙන යද්දී එකපාරටම තණකොළ පිස්‌සක් වගේ එකකට අඩිය තිබ්බා
විතරයි මතක හැමෝම ඒකේ එරුණා. පැය ගාණක් මඩේ දඟලලා අම්මලා
ඇවිත් තමයි අපිව ගෙදර එක්‌කන් ගියේ. මඩේ එරුණටත් වැඩිය ගුටි
කෑවා අමතක නොවෙන්නම. ඒ විතරක් නෙමෙයි සුමාන තුනක් විතර යනකන්
එක යාළුවෙක්‌වත් මුණගැහීම තහනම් කළා.
අද වගේ බෙන්ටෙන්, ඩෝරා කාටුන් බලන්න ටීවී තිබුණේ නැහැ. උදේ
ගෙදරින් ගියහම ටිං කඩලා, කෝං පිට්‌ටු හදලා හවසට තමයි අම්මලා
ගෙවල්වලට ඇදගෙන එන්නේ. මම ඉපදුණේ 1963 ජුලි 30 වැනිදා. මට
අවුරුදු හතරකට බාල නංගිකෙනෙක් ඉන්නවා.
අපි නිවාඩුවට යන්නේ කුලියාපිටියේ තාත්තගේ ගමේ. ඒ කාල වකවානුවේදි උපරිම රසය විඳලා තමයි එන්නේ.
මගේ මුල්ම පාසල වුණේ නුගේගොඩ අනුලා විද්‍යාලය. අම්මා නාලන්දා විද්‍යාලයේ ගුරු පත්වීම ලැබුණට පස්‌සේ මම ගෝතමී බාලිකාවට මාරු වුණා. ඒ කාලෙදි තමයි කහ උණ හැදිලා මාස හයක් ඉස්‌කෝලේ යන්න බැරිවුණා. ඒ අතර කාලයේදී මම නැවතත් සුජාතා විද්‍යාලයට ඇතුළත් කළා. ඔය කාලෙදි අම්මට තේරුණා මම තෝරාගත්ත ළමයි කොට්‌ඨාසයක් විතරයි ආශ්‍රය කරන්නේ කියලා. ඇයට ඕන වුණා නිර්මාණශීලී ගුණාත්මක් දරුවෙක් මා තුළ නිර්මාණය කරන්න. ඒ නිසා මාව නැවත ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයට ඇතුළත් කළා. ඒ වකවානුවේදි තමයි කොහොමහරි විශ්ව විද්‍යාලයට යන්න ඕන කියන සිහිනය ගොඩනැගුණේ. ඒකට ගොඩක්‌ම හේතුවුණේ අම්මයි තාත්තයි දෙන්නම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා ඒ ආශ්‍රිතව අඳුනගන්න ලැබුණු පිරිසක් වටා ඔවුන් නිතරම ආශ්‍රය කරපු නිසා මටත් ඒ අත්දැකීම් අහන්න දකින්න ලැබුණා.
අම්මා කොතරම් ප්‍රසිද්ධ කලාකාරිනියක් වුණත් කවදාවත් ගෙදරින් කලාවට යොමුවෙන්න කියලා බලපෑම් කළේ නැහැ. මම මුලින්ම නාට්‍යයක රඟපෑවේ ඉස්‌කෝලේ පහේ පන්තියේ සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මියගේ එළව ගිහින් මෙලොව ආවා වේදිකා නාට්‍යයේ. ඊට කලිsන් පන්තිවලදී මම තනියෙන් නාට්‍යය ලියලා පන්ති මට්‌ටමින් ඒ නාට්‍යය අධ්‍යක්‍ෂණය කළා. පාසල් අවසාන කලයේදී මලල ක්‍රීඩාවට තමයි මම වැඩිපුරම යොමුවෙලා හිටියේ. කලාප මට්‌ටමිනුත් ජයග්‍රහණ ලබාගත්තා. ඒ නිසා පසු කාලෙදි ජාත්‍යන්තර මට්‌ටමේ මලල ක්‍රීඩිකාවක් වෙන්න ඕනකම මට තිබුණා. තාත්තා එක්‌ක ක්‍රීඩා අමාත්‍යංශයට ගිහින් පුහුණු වීම් ලැබුවා. හොකී ක්‍රීඩා කළා. ඒ විදිහට මම ක්‍රීඩා කරපු ඉසව්වලින් ඉදිරියට එද්දී කකුලේ ඇතිවුණ ආබාධයක් නිසා ඒ සියල්ල අතරමග නැවතුණා.
සාමාන්‍ය පෙළ ලියලා ගෙදර හිටපු කාලෙදි තමයි මගේ අම්මා සෝමලතා සුබසිංහ නාට්‍යය කණ්‌ඩායමක් නිර්මාණය කළේ. ඒ හැම නිර්මාණයකටම දර දිය ඇද්දේ මම. තේ හැදුවා, කෑම ඉව්වා, කොස්‌ටියුම් හේදුවා. ඒත් කවදාවත් අම්මා මට රඟපාන්න කතා කළේ නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිපල විශිෂ්ට සම්මාන හතක් අරගත්ත නිසා ප්‍රින්සිපල් කිව්වා විද්‍යා විෂයන් කරන්න කියලා. ඔය කතාව අම්මට කිව්වට පස්‌සේ අම්මා ඇහුවා නාට්‍ය චිත්‍රපට බලන එක සියල්ල අත්හැරලා පොතටම ඇලිලා පාඩම් කරන්න පුළුවන්ද කියලා. ඒ දේ කරන්න කොහෙත්ම ඉඩ නොතිබුණු නිසා කලා විෂයන්ගෙන් උසස් පෙළ කළා. ඒ ඔස්‌සේ මගේ හිතේ තිබුණු හීනේ මම ජයගත්තා. කොළඹ විශ්වවිද්‍යාලයට මාව තේරුණා. අවුරුදු හතරක් විශ්වවිද්‍යාලේ ගිහින් අවසාන විභාගේ කරලා පඩිපෙළ බහිනවත් එක්‌කම කොළඹ විශ්ව විද්‍යාලෙම පුහුණුවන ඉංග්‍රීසි උපදේශිකාවක් හැටියට රැකියාව ලැබුණා. ගුරු වෘත්තිය හුරු පුරුදු රැකියාවක් වුණ නිසා ලොකු බැරෑරුම් කමක් දැනුණේ නැහැ. ඒ වගකීම බාරගන්න පුංචි කාලේ ඉඳලම අම්මා ලොකු සහයෝගයක් දුන්නා. මුල ඉඳලම කට්‌ට කාගෙන යන විදිහට තමයි ඒ ජීවිතේ සෑම අත්දැකීමක්‌ම ලබා දුන්නේ.
අම්මාගේ තරුණ නාට්‍යය කණ්‌ඩායම නිර්මාණයක් වුණුq කතාන්දර දෙකක් නාට්‍යයෙන් තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවුණේ. එතැන් පටන් සුගතපාල සිල්වා මහතාගේ, ධර්මසිරි බණ්‌ඩාරනායකයන්ගේ වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්‌ථාව උදාවුණා. ඒ ආරම්භය තමයි අම්මා මාව නාට්‍ය වැඩමුළුවලට යවන්න පෙළඹුවේ. ලෝක නාට්‍ය ඉතිහාසය පෙන්වන්න රටවල් ගණනාවකට එක්‌කන් ගියා. අම්මගේ නාට්‍යයවල අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණ කරනයෙන්ම එක්‌වුණා. ප්‍රසිද්ධ වේදිකාවෙන් මම එක්‌වුණු මුල්ම නිර්මාණයෙන්ම රාජ්‍ය නාට්‍යය උළෙලේ දී සම්මාන ලැබුවා.
සැමියා චන්දන අලුත්ගේ මුණගැහුනෙත් විශ්ව විද්‍යාලයේදීමයි. අපි 1995 දී විවාහ වුණා. මම දැන් දුවෙක් සහ පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. විවාහ වෙන්න වසරකට විතර කලින් තමයි ටෙලිනාට්‍යය ක්‍ෂේත්‍රයට ආවේ. අශෝක හඳගමගේ සඳ දඩයම මගේ මුල්ම සිනමා නිර්මාණය.
මට එක වෙලාවකට හිතෙනවා අපරාදේ රඟපෑමට ආවේ කියලා. මොකද මම වැඩක් කරනවනම් ඒ දේ උපරිමයෙන් කරන කෙනෙක්. ඒ උපරිමය කරන්න පුළුවන් නිර්මාණ අද බිහිවෙන්නේ නැහැ. ඒ නිසා ශිsල්පිනියක් වශයෙන් ලැබුව ඒ අත්දැකීම් අපරාධයක් කියලා හිතෙනවා. ඒ තැනට අද කලාව පත්වෙන්න ක්‍ෂේත්‍රයේ කඩාවැටීම වගේම ප්‍රේක්‍ෂකයාගේ රුචිකත්වයේ කඩා වැටීමත් බලපා තියෙනවා.
0 comments:
Post a Comment