එම ලිපියෙහි ශීර්ෂ පාඨය හා අදහස් දැක්‌වීම අතර තිබූ පරස්‌පර
විරෝධී භාවය, එකතැන පල්වෙමින් තිබූ ටෙලිනාට්‍ය මඩගොහොරුවේ
පිපුණු අරවින්දයක් සේ සුජාත දියණි ටෙලි නාට්‍යය හැඳින්වීමෙන්
පැහැදිලි වේ. එවන් අරවින්දයක් වැනි වූ ටෙලි නාට්‍යයක්
මඩගොහොරුව හා සමාන වූ ප්‍රවීණා රැල්ලේ සාමාජිකයකු කොට ලිපියට
මාතෘකාව යෙදුවේ පාඨකයා තුළ අනවශ්‍ය බුද්ධි කලම්භනයක් සිදු
කිරීමට දැයි නොදනිමි.

එමෙන්ම ඉහත කී ලිපියට අනුව සියලු දෙනා රූපවාහිනිය වටේ එක්‌රොක් වන්නේ සුජාත දියණි ටෙලි නාට්‍යය පෞරාණික සංස්‌කෘතික හර පද්ධතිය හා වටිනාකම් ඉස්‌මතු කරමින් කතා පුවත ප්‍රතිනිර්මාණය කොට තිබෙන නිසා බව ලියුම්කරු දක්‌වා ඇත්තේ ප්‍රශංසාත්මකවය. එසේ නම් එය පැරණි බොළඳ රැල්ලේ නාට්‍යයක් ලෙස හැඟෙන සේ මාතෘකාව යොදා ඇත්තේ කුමකටද? මෙවැනි ලිපියක් පුවත්පතකට සපයන මාධ්‍යවේදියකු ලිපියෙහි නිවැරදි හරය ප්‍රකාශිත වන සේ එහි ශීර්ෂපාඨය යෙදිය යුතු බව පැහැදිලි කිරීමට අටුවා ටීකා උවමනා නැත.
ලී යන්ග් නමැති නිළිය, බටහිර සංස්‌කෘතියේ බලපෑම් ඇති වර්තමාන කොරියානු සමාජයේ වෙසෙන තැනැත්තියක වුවද පැරණි කොරියානු සංස්‌කෘතිය සහ හර පද්ධතීන්හි වටිනාකම් මැනවින් චරිතායනය කොට ගත්, ඊට පණදීමට සමත් තම දේශයට හා සංස්‌කෘතියට ආදරය කරන නිළියක බව පැහැදිලිය. අප රටේ ද මෙවැනි නළු නිළියන් අතීතයේ විසූ බව පුණ්‍යා හීන්දෙණිය, ටි්‍රලීෂියා ගුණවර්ධන, ජෝ අබේවික්‍රම වැනි කලාකරුවන් උදාහරණයට ගෙන දැක්‌විය හැකිය. එහෙත් අද ටෙලිනාට්‍යවල රඟපානුයේ පැරණි සිංහල සංස්‌කෘතිය ගැන අවබෝධය තබා හරි හැටි සිංහල වචන උසුරුවන්නටවත් නොහැකි ඕපපාතික ලෙස පහළ වූ නළු නිළියන්ය. ටෙලිනාට්‍යවල තත්ත්වය එසේ නම් ප්‍රේක්‍ෂකයින්ගෙන් සම්භාව්‍ය නවකතා ගැන විමසීමේ පලක් නැත. තම රටෙහි ඉතිහාසය, කලා ශිල්ප සාහිත්‍යය ගැන මනා අවබෝධයක් නොමැති ඕනෑම වැසියකු අක්‌මුල් නොමැති ඕපපාතිකයකු හා සමානය. අතීතයේ දී ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළ මට්‌ටමක සිටි කොරියාව අද අපට සමීප විය නොහැකි තරම් දියුණු තත්ත්වයක තිබෙනුයේ සිය දේශය ගැන සැබෑ හැඟêමක් හා කැපවීමක් ඇති ජනතාව විසින් එය ඔසවා තැබූ නිසාය. "සුජාත දියණි" කතා පුවතින් ප්‍රේක්‍ෂකයා දකින මනා ශික්‍ෂණයෙන් යුතු ස්‌ත්‍රී පුරුෂ බැඳීම් සහ සුලබ ප්‍රේම කතාවක ස්‌වරූපය ඉක්‌මවූ, මනුෂ්‍ය සමාජය වෙනුවෙන් සේවය කිරීම සිය දිවි දෙවෙනි කොට ගත් තරුණියකගේ කතා පුවත ලාංකේය ප්‍රේක්‍ෂකයින් විසින් ආදරයෙන් පිළිගනු ලැබීම ප්‍රේක්‍ෂක රසඥතාව පිළිබඳ සුබ ලකුණක් සේම, අපේ ටෙලිනාට්‍ය කලාවේ බංකොලොත්භාවය ද හෙළි කරන්නකි. ප්‍රේක්‍ෂකයින් විසින් ඉල්ලා සිටින ඔවුන්ගේ මනස ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන හරවත් නිර්මාණ අද දවසේ බිහිවෙයිද? දැනට විකාශය වෙමින් පවතින "අප්පච්චි" ටෙලි නාට්‍යය ලියුම්කරු විසින් අගය කොට තිබුණද, එම නාට්‍යය අපේ රටේ ගැමි තරුණ තරුණියන්ට ස්‌පර්ශ කළ හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබේද? අපේ පෞරාණික හරපද්ධතිය හා වටිනාකම් කොතෙක් දුරට ඉන් ඉස්‌මතු කෙරේද?
එහෙත් ගස් නැති රටේ තුත්තිරි ගස් මෙන් මෙවැනි ටෙලිනාට්‍යවත් නොතිබේ නම් ප්‍රේක්‍ෂකයා මංමුළා වනු නියතය. හරවත් නිර්මාණවලින් පෝෂණය වූ රසඥතාවක් ඇති ප්‍රේක්‍ෂකයෝ අප රටේ වෙසෙත් නම් ඔව්හු නළු නිළියන්ගේ අලගිය මුලගිය තැන් සොයමින් ඔවුන්ගේ මානසික අසරණ භාවය ප්‍රදර්ශනය කිරීමට නොපෙළඹෙති. එවැනි හරවත් නිර්මාණවලට දායක විය හැකි කලාකරුවෝ අද ස්‌ටාර් තරගවල විනිසුරුකරුවන්ව කාලය කා දමති. තත්ත්වය එසේ තිබියදී සුලබ බොළඳ රැල්ලට එරෙහිව ජන විඥානයේ කුමන හෝ යහපත් වෙනසක් ඇති කිරීමට දායක වන සුජාත දියණි වැනි ටෙලිනාට්‍ය අවිචාරවත් ලෙස විවේචනය කිරීම අරුත්සුන් ක්‍රියාවකි.
0 comments:
Post a Comment