Photobucket

Monday, February 18, 2013

මීරිගමදී ඔත්තුකරුට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රී නි.ඇමැතිගේ නිවසේ හැංගිලා

මීරිගම නාවුල්ල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පස්‌ කපමින් සිටි පුද්ගලයකු පිළිබඳ පොලිසියට තොරතුරු සැපයූ ඔත්තුකරු පැහැරගෙන ගොස්‌ මීරිගම නගරයේ දණගස්‌වා අමානුෂික ලෙස පහරදී පිස්‌තෝලයක්‌ එල්ලකර තර්ජනය කළ බව කියන මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා විසින් සිය නිවසේ සඟවා තබාගෙන සිටින බවට තොරතුරු මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂ පොලිස්‌ කණ්‌ඩායම වෙත ලැබී ඇත.

මෙම සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස්‌පතිවරයාගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇත. එහෙත් නියෝජ්‍ය ඇමැතිවරයා විසින් රැකවරණය ලබාදීම නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමට අපහසු වී ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරීහු පවසති.

නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ නිවසේ සැඟවී සිටින බව පවසන සැකකාර අමිල පෙරේරා එම ප්‍රාදේශීය සභාවේ පාලක පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකි.

මීරිගම පොලිස්‌ වසමට අයත් මාලදෙණිය නාවුල්ල පාරේ මාලදෙණිය විහාරස්‌ථානය අසලදී බැකෝ යන්ත්‍රයක්‌ යොදා ගනිමින් පුද්ගලයකු නීති විරෝධී ලෙස පස්‌ කපමින් සිටින බවට පසුගිය 14 වැනිදා සවස පොලිස්‌පති සහන මැදිරියට පැමිණිල්ලක්‌ ලැබී ඇත. ඒ අනුව පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ගොස්‌ පස්‌ කපමින් සිටි අය, බැකෝ යන්ත්‍රයක්‌ සහ ටිපර් රථයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් මඳ වෙලාවකට පසුව මීරිගම පොලිසිය වෙත ආධාරකරුවන් පිරිසක්‌ සමග පැමිණ ඇති සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බැකෝ යන්ත්‍රයත් ටිපර් රථයත් නිදහස්‌ කරන ලෙසට බලපෑම් කර ඇත.

මීරිගම පොලිසියේ නිලධාරීන් තම බලපෑමට යටත් නොවූ නිසා සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් තවත් අයකුට කතා කර ඇත. පසුව එම ජංගම දුරකථනය පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂකවරයා අත තැබූ සැකකරු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා කතාකරන බව පවසා ඇත. පොලිස්‌ පරීක්‍ෂකවරයා ජංගම දුරකථනයේ ඇමතුමට සවන් දී ඇති අතර තමන් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන බවත් අත්අඩංගුවේ සිටින පුද්ගලයා සහ දේපළ වහා නිදහස්‌ කරන ලෙසත් පවසමින් පොලිස්‌ පරීක්‍ෂකවරයාට ඇමතුම ලබාදුන් අය තර්ජනය කර ඇත.

මේ පිළිබඳ පොලිස්‌ පරීක්‍ෂකවරයා මීරිගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා මහතාට දැනුම් දී ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා සහ දේපළ වහා පොලිස්‌ ස්‌ථානය වෙත රැගෙන එන ලෙස එරික්‌ පෙරේරා මහතා පොලිස්‌ කණ්‌ඩායමට උපදෙස්‌ දී ඇත.

මෙයින් දැඩි ලෙස කෝපයට පත්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිය ජීප් රථයෙන් ද ආධාරකරුවන් ත්‍රිරෝද රථයක නැඟ පස්‌ කපන බවට පොලිසියට ඔත්තු දුන් නාහල්ලේ ධම්මික නමැත්තා සොයා ඔහුගේ නිවසට ගොස්‌ ඇත.

ධම්මික නමැත්තාගේ හිසට පිස්‌තෝලය එල්ල කර ඔහු පැහැර ගත් සැකකරුවන් ජීප් රථයේ ඔහු නංවා මීරිගම නගරය මැදට ගෙනැවිත් දණගස්‌වා අමානුෂික ලෙස පහර දුන් බවට පොලිසියට තොරතුරු ලැබුණු බව පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසුවේය.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ මැර පිරිසගේ පහර කෑමට ලක්‌වූ ධම්මික නමැත්තා කෑගසද්දී ඒ අසල සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු එම ස්‌ථානයට ගොස්‌ ඇත.

තමන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව කියමින් සැකකරු එම පොලිස්‌ නිලධාරීන්ට ද තර්ජනය කරද්දී එම පොලිස්‌ නිලධාරීන් ධම්මික නමැත්තා මුදාගෙන ඇත. පසුව සැකකරුවන් තමන් පැමිණි රථවල නැගී පලාගොස්‌ ඇත.

යළි එදින රාත්‍රියේ මීරිගම පොලිසියට කඩාවැදුණු සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ මැර පිරිස අත්අඩංගුවට ගත් තම ආධාරකරුවා සහ දේපළ මුදාහරින ලෙස තර්ජනය කර තිබේ. එහෙත් මීරිගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා මහතා එම තර්ජන ගණනකට නොගෙන නීතිය ක්‍රියාත්මක කර ඇත.

එහෙත් දේශපාලන බලපෑම් මත ඉහළින් ලැබුණු පොලිස්‌ නියෝගයක්‌ නිසා පසුව මෙම බැකෝ යන්ත්‍ර මුදා හැරීමට මීරිගම පොලිසියට සිදුවිය.

මෙම සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මීට වසරකට පමණ පෙරදී ද මීරිගම පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාට මීරිගම නගර මධ්‍යයේ ලේ ගලන තුරු පහර දුන් බවට චෝදනා එල්ල වී තිබේ. එහිදී ද අදාළ නියෝජ්‍ය ඇමැතිවරයාගේ බලපෑම මත එකී සිද්ධිය යටපත් කර ඇති අතර අවසන පහර කෑමට ලක්‌වූ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගෙන් පසුව සමාව ලබා ගැනීමට පවා සිදුවූ බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ මැර පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් විශේෂ කණ්‌ඩායමක්‌ පත් කරන ලදී.

එහෙත් සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ නිවසේ සැඟවී සිටින බවට තමන්ට තොරතුරු ලැබුණු බව එම පරීක්‍ෂණ කණ්‌ඩායමේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසුවේය.

නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගේ බලය ලබාගෙන මීරිගම ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කරගෙන පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් පවා මෙල්ල කරගෙන සිටීමට සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කටයුතු කළේය. එහෙත් මීරිගම පොලිස්‌ ස්‌ථානයට ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා මහතා පත්වීමෙන් පසු මෙම මන්ත්‍රීවරයාගේ චණ්‌ඩිකම් සහ දූෂිත ක්‍රියා මර්දනය විය.

මේ හේතුව නිසා මෙම මන්ත්‍රීවරයා සහ දේශපාලනඥයෝ මීරිගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විරෝධයක්‌ පළකරමින් සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all