Photobucket

Monday, February 18, 2013

ලෝකේ අංක එකේ බිස්නස් එක ‘සිනමාව’

සමන් වීරමන් අධ්‍යක්ෂණය කරන ලද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත වේ. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තියේ සිට බුදුවීම දක්වා නිරූපිත සිනමා නිර්මාණය තුළ ඉන්දියානු නළුනිළියන් සේම ශ්‍රී ලාංකිකයන් රැසක්ද රංගනයෙන් දායකවන අතර මෙහි නිෂ්පාදන දායකත්වය ලබා දෙනු ලබන්නේ නවීන් ගුණරත්න, චන්ද්‍රරත්නම් ඇතුළු නිෂ්පාදන කණ්ඩායමකි. චිත්‍රපටය පිළිබඳව අදහස් දැක්වීමට සමන් වීරමන් අප හා එක්විය.
 
ගෞතම බුදුන් වහන්සේගේ චරිතාපදානය අළලා ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ වැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද?
මම චිත්‍රපට සංස්ථාවේ සේවය කරන කාලයේ තමයි මේ පිළිබඳව අදහසක් සේම පිටපතකුත් අතට ලැබුණේ. ඒ 2007 වර්ෂයේදී. ඉතින් 2011 වසර වනවිට සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදුවුණු බුදුන් වහන්සේගේ 2600 වන සම්බුද්ධ ජයන්තිය අපේ ජීවිත කාලය තුළදීම පැමිණෙනවා. මෙය සිහි කිරීමට අපට අඩුම ගණනේ මේ ප්‍රාඥයා පිළිබඳව චිත්‍රපටයක්වත් අපට කරන්න බැරි නම් ජීවත් වෙලා ඵලක් නැහැ කියලා හිතුණා. ඉතින් මා එය ඔස්සේ ගමන් කළා. මෙවැනි චිත්‍රපටයක් සඳහා වියදම් කිරීමේ පුද්ගලයකු සොයා යද්දී මට නවීන් ගුණරත්න මහතා හමුවුණේ. චන්ද්‍රන්රත්නම් මහතාත් අපි සමග එකතුවුණා. ඇත්තටම මගේ අරමුණ, අපේක්ෂාව වුණේ වන්දනීය කටයුත්තකට දායක වන්නයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සියල්ලටම රංගනයෙන් දායක වන්නේ ඉන්දියානු රංගන ශිල්පීන්. එය අපේ නළුනිළියන්ට කරන ලද අසාධාරණයක් කියා චෝදනාවක් තියෙනවා නේද?
එහෙම නෑ. මෙම නිර්මාණය කළේ සාමාන්‍ය චිත්‍රපටයක් ලෙස නමෛයි. මොකද අපට වගකීමක් තිබුණා. සැදැහැවත් නරඹන්නන්ට විශ්වසනීයත්වය ගොඩනැගිය යුතුයි කියලා. මේ පූජනීය චරිත සඳහා අපේ නළු නිළියන් ගත්තා නම් ඒක ඔවුන්ටත් කරන අසාධාරණයක්. ඔවුන් ඊට පසුව වෘත්තීය වශයෙන් වුණත් අසාර්ථක වෙනවා. ඉතින් ප්‍රධාන චරිත සඳහා අපි උතුරු ඉන්දියානු නළුනිළියන්ව තෝරාගත්තේ ඒකයි. අඩුම තරමේ බොලිවුඩ්වලින්වත් ගත්තේ නෑ. අපේ රංගන ශිල්පීන් විශ්වාසය ගොඩනැගෙන අයුරින් ඔවුන්ගේ කාර්යය නිසි පරිදි ඉටුකළා. අද වනවිට මෙම චිත්‍රපටය සියලු පැත්තෙන්ම ආදායම් වාර්තා බිඳහෙළා තිබෙනවා. මං හිතන්නේ ඒක අපේ දක්ෂකමටත් වඩා අපි ප්‍රාර්ථනා කළ දේ.

නමුත් බුද්ධ චරිතය හරහා කරන නිර්මාණ සඳහා බෞද්ධ සමාජය තුළ යම් විරෝධයක් මතුවෙනවා නේද?
ඇත්තටම එහෙම දෙයක් මතුවේවි කියලා අපි දැනගෙන හිටියා. ඒකයි අපි සිද්ධාර්ථ උත්පත්තියේ සිටම ප්‍රධානවූ සිද්ධීන් සුවිශේෂ ලෙස      අර්ථකථනය කළේ. මොකද සුළු වැරදීමට වුවත් අපි වගකිව යුතුයි. ඉතින් ඒ නිසා පරෙස්සම්වූ වාර අනන්තයි. මේක අතිදැවැන්ත කාර්යයක් වුණේ ඒකයි. මෙහි තිරපිටපත පවා මහා සංඝරත්නයට ඉදිරිපත් කළා. අපිට විතරක් වගකීම තනිවම දරන්න අමාරු නිසා බුද්ධිමත් පිරිසක් මේ වටා එකතු කරගත්තා. මොකද නිවැරදි දේම කළ යුතුයිනේ. මේ කතාව මහා සභාවකට ඉදිරිපත් කළා. ඒ තුළ විවිධ සංශෝධන සිදුකළා. නැවත රූපගත කරලා ඉදිරිපත් කළා. ඒතුළත් සංශෝධන කළා. මේක ආත්මපූජාවක් . දමලා ගහලා කරන්න බෑ.

‘ලිට්ල් බුද්ධා’ චිත්‍රපටය අපේ රට තුළ තහනම් වුණා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
‘ලිට්ල් බුද්ධා’ හොලිවුඩ්වලින් කළා. ඉන්දියාවේ සිද්ධාර්ථ කළා. නමුත් මේවා සංසන්දනය කරන්න බැහැ. අපි විශේෂ යමක් කළා. සිද්ධාර්ථ, යසෝධරා වෙන්වීම අර්ථකථනය කරන්න උත්සාහ ගත්තේ ඒකයි. බොහෝ මිත්‍යා දෘෂ්ඨිකයන් මතුකරන ප්‍රශ්නයක් තමයි රාහුල කුමාරයා ඉපදුණු දවසෙම සිදුහත් හැරයාම. අපි මේ වෙන්වීමට ඊට වඩා හොඳ, යහපත් අර්ථකථනයක් දුන්නා. වගකීමක් සහිතව නිර්මාණය කළා. යසෝධරා සිද්ධාර්ථ අතරේ ඇති සංසාරගත බැඳීම හොලිවුඩ් අයට තේරෙන්නෙ නැහැ. අපි එය තේරුම්ගෙන නිවැරදි දේ කළා. ඉන්දියාවටත් මේක හරියට කරන්න බැරිවුණා. එයාලා හිතුවේ මුදල ගැන පමණයි.

මෙවැනි නිර්මාණයක් කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවෙනවා. අපේ රට තුළ මෙවැනි නිර්මාණ තුළින් ප්‍රථිලාභ ලබන්න පුළුවන්ද?
මේ කර්තව්‍යය අපේ  නිෂ්පාදකවරයා වටහාගත්තා. ලක්ෂ 1500කට වඩා වැය වන බව. ඔහු වියදම් කළ මුදලවත් බලා‍පොරොත්තු වුණේ නෑ. ඔහු හැම වෙලාවෙම කිව්වේ ලෝකෙට ණය නොවී හිටියොත් ඇති කියලා. නමුත් අද චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙනවා. එහෙම නොවුණත් වේදනාවක් නෑ. මොකද කැපවෙන්න නැතිව මේවගේ දේවල් කරන්න බැහැනේ.

මෙවැනි චිත්‍රපට තුළින් සිනමා කර්මාන්තය නගාසිටුවිය හැකිය කියා ඔබ සිතනවාද?
පුළුවන්. අද ලෝකෙ අංක එකේ බිස්නස් එක සිනමාව. හොලිවුඩ් චිත්‍රපටයක් එක සති අන්තයෙන් කොස්ට් එක කවර් කරනවා. අපි ළිඳේ ඉන්න ගෙම්බො වගේ ඉඳලා හරියන්නේ නෑ. ආදායම ලබාගන්න උත්සාහ දැරිය යුතුයි. අපේ චිත්‍රපටවලින් ඇත්තටම ආදායම ලබන්න පුළුවන්. විශ්වාසය තමයි ගොඩනගාගත යුත්තේ.

එහෙනම් ඇයි 60 වසරක් සපුරන අපේ සිනමාව ජාත්‍යන්තරය තුළ මන්දගාමි වුණේ?
ඒකට මම උත්තර නොදී ඉන්නම්. මට වඩා චිත්‍රපට කරපු පිරිස් ඕනෑතරම් ඉන්නවා. මටත් ඕන සිනමාකරුවකු ලෙස අපේ නිර්මාණ මහ මුහුදින් එහාට ගෙනියන්න. මම කැපවෙන්නේ ඒකට. අනෙක් නිර්මාණකරුවන්ගෙන් ඉල්ලන්නේ ඒකයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all