Photobucket

Thursday, February 28, 2013

ඇඟිල්ල වෙන් වෙයි! සොරා පැනයයි

රාත්‍රි කාලයේ නිවසක්‌ බිඳ බඩු සොරාගත් පුද්ගලයකුගේ අතේ ඇඟිල්ලක්‌ සපා කෑමෙන් වෙන්වීම සම්බන්ධ පුවතක්‌ පසුගියදා කන්තලේ දිසා අධිකරණයේ දී හෙළිවූ අතර අත්අඩංගුවට පත් සැකකරු රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස කන්තලේ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය එම අධිකරණයේ දී නියෝග කළාය.

රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ පේරාරු ජනපදයේ 25 හැවිරිදි තරුණයෙකි.

තමන් තම නිවසේ දරු දෙදෙනාද සමගින් රාත්‍රි නිදා සිටියදී අලුයම 2 ට පමණ ශබ්දයක්‌ ඇසී බලනවිට මුහුණ වසාගත් පුද්ගලයකු ගේ තුළ සිටිනවා දැක කෑගැසූ බවත් එවිට එම තැනැත්තා තමාගේ කට ඔහුගේ අතින් වැසූ අවස්‌ථාවේ තමන් ඇඟිල්ලක්‌ සපා කෑ බවත් ඉන් පසුව ඔහු පළාගිය බවත් සිද්ධියට මුහුණ දුන් දෙදරු මව අධිකරණය හමුවේ කියා සිටියාය.

සැකකරු අල්මාරියේ තිබී රුපියල් 10,000 ක්‌ හා 13,000 ක්‌ වටිනා ජංගම දුරකථනයක්‌ද සොරාගෙන ගොස්‌ ඇති අතර බුද්ධි අංශ යොදවා තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු සැකකරු ප්‍රතිකාර ගැනීමට ගොස්‌ සිටියදී දුරකථනය හා මුදල් ද සමගින් අත්අඩංගුවට ගෙන කන්තලේ මූලස්‌ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

කන්තලේ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිමල් බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ පිට අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක පාලිත කරුණාරත්න, පො.සැ. වරුන් වන දයාරත්න (23954), ප්‍රසාද් (36533), පො.කො. වරුන් වන බානගල (63392), තරංග (61953), හේරත් (48782), තිස්‌ස (34030) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකොට තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all