ලොව පුරා වෙසෙන ආදරවන්තයෝ පසුගිය 14 වැනිදා පෙම්වතුන්ගේ දිනය සැමරූහ. මෙය ද තවත්
එක් ආදරයක් ගැන කතාවකි. ඇන්ඩි ව්‍යාපාරිකයෙකි. විනෝදය පිණිස නිතරම තමාට අයත්
උණුසුම් බැලූනයේ නැඟී ගුවනේ සංචාරය කිරීම ඔහුගේ පුරුද්දකි. දිනක් බැලූනයේ නැඟී අවට
සිරි නරඹමින් යන ඇන්ඩි අහම්බයෙන් දුටු දෙයකින් පුදුමයට පත්විය.
”දැවැන්ත ඕක් ගස් ගොන්නක් අතර හදවතක හැඩයට ඉතිරි කළ හිස් බිමක් මං ගුවනේ සිට
දැක්කා. එය හරිම ලස්සනයි. මට මගේ දෑස් අදහාගන්න බැරිවුණා. ඕක් ගස් සමූහය අතර
කොළපාටින් බබළන මේ ඉඩකඩ කුමක්දැයි සොයා බලන්න මට හිතුණා.”
ගුවනේ සිට මේ ඕක් ගස් ගොන්න ඡායාරූප ගතකළ ඇන්ඩි ඒ ගැන විපරම් කළේය. වසර ගණනාවක්
තිස්සේ පවුලේ රහසක්ව පැවැති සිහිවටනයක කතාව එළියට පැමිණියේ ඉන්පසුවය. මේ මහා ඕක්
ගස් ගොන්නේ නිර්මාතෘ එංගලන්තයේ ග්ලවුසෙස්ට්ෂයර් හි ගොවි මහතෙකි. ඔහු නමින්
වින්ස්ටන් ය.
විකාර් ප්‍රදේශයේ වූ ඔහුගේ ගොවිපොළ අක්කර 112කි. වින්ස්ටර් සිය ආදරිය වූ ජැනට්
විවාහ කරගත්තේ 1962 වසරේදී ය. දරු මුනුපුරන් ලබමින් සතුටින් ජීවත් වූ ඔවුන්ගේ ලෝකය
වූයේ මේ ගොවිපොළය. කාලය ගෙවී යද්දී හදිසියේම ඇති වූ හෘදයාබාධයකින් ජැනට් මෙලොව හැර
ගියාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 50කි. ඒ වෙද්දී ඔවුන්ගේ විවාහ දිවියට වසර 33කි.
එහෙත් දෙදෙනාගේ ආදරය පෙරසේම විය.
වින්ස්ටන්ට ජැනට් නැති ලෝකය මහා කතරක් බඳු වූයේය. නිරන්තරයෙන් ඇය සිහිපත් වෙද්දී ඒ
තනිකම, පාළුව සහමුලින්ම තුරන් කිරීමට දරු මුනුපුරෝ ද අසමත් වූහ. මිනිසුන් ආදරය
වෙනුවෙන් නොකරන දෙයක් නොමැති තරම් ය. වින්ස්ටන් ද සිය ආදරිය වෙනුවෙන් ආදර
සිහිවටනයක් තැනීමට සිත යොමු කළේය.
ඒ ආදර සිහිවටනය වූයේ දැවැන්ත ඕක් වගාවයි. ජැනට් මියගොස් මාස කීපයකින් ඔහු ඕක් වගාව
ආරම්භ කළේය.
ඔහු මුලින්ම කළේ විශාල හදවතක හැඩය ඉතිරි කර ඒ වටා ඕක් ගස් පේළියක් සිටුවීමයි.
පේළියෙන් පේළිය ඕක් ගස් ගොන්නට තවත් ඕක් ගස් එකතුවෙද්දී එතැන දැවැන්ත ඕක් ගස් දහස්
ගණනකින් යුත් ගස් ගොන්නක් බිහිවිය. අද එය හදවතක හැඩයෙන් යුත් එළිමහනක් මැදිකර ගෙන
අක්කර හයක් පුරා විහිදුණු දැවැන්ත ඕක් යායකි. හදවතක හැඩයෙන් යුත් එළිමහනේ අපූරුවට
තණකොළ සිටුවා ඒ මැද ගිම්හානයේ දී ලස්සනට මල් හට ගන්නා උඩවැඩියා වැව්වේ ජැනට් වඩාත්
ම ආසා කළ මල් උඩවැඩියා නිසාය.
මේ හදවතක හැඩය බිම සිට බැලු විට කිසිවකුට නොපෙනේ. ඒ ඉඩකඩට පිවිසීමට ඇත්තේ ද එකම
මාර්ගයකි. එය ද දන්නේ පවුලේ අය පමණි. ඉඩකඩට පිවිසෙන මාර්ගය ද පවුලේ රහසකි. හදවතක
හැඩය ගත් ඉඩ කොටසෙහි හදවතේ උල් හැඩය සිය පෙම්බරිය වූ ජැනට් ගේ උපන් ගම වන ටොට්න්
හිල් ගම්මානය කරා එල්ල වන සේ පිහිටුවීමට ද වින්ස්ටන් අමතක නොකළේ ය.
දැන් වින්ස්ටන් ගේ වයස අවුරුදු 80කි. ඕක් හදවත අයිනේ තැනවූ බංකුවක සිට ඔහු ඈත කඳු
වළල්ල දෙස බලාගෙන තවමත් සිය පෙම්බරිය සිහිකරයි
”ජැනට් මෙතැනට වී ඈත කඳුවළල්ල දෙස බලා ඉන්න ආසා කළා. මාත් දැන් මෙතෙනට වී ඒ දෙස
බලාගෙන අප දෙන්නාගේ ආදරය මතක් කරනවා” යැයි වින්ස්ටන් පවසයි.
වින්ස්ටන් මීට වසර 5කට පෙර උඩින් ගොස් සිය ආදර සිහිවටනය නැරැඹුවේය. බැලූනයේ නැඟී
ගිය ඇන්ඩි අහම්බෙන් දුටු මේ ආදර සිහිවටනය එතෙක් පවුලේ රහසක් ව තිබී දැන් මුළු ලෝකයම
ඒ ගැන දනී.
0 comments:
Post a Comment