Photobucket

Wednesday, January 9, 2013

ගෝල්ඩන්-කී තැන්පත්කරුවෝ අගවිනිසුරු නිවෙස ඉදිරි පිට සත්‍යග්‍රහයක

අල්ලස් ගත් අගවිනිසුරුතුමිය නිසා අප අද මහ මඟට වැටී ඇතැයි ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ දින තුනක සත්‍යග්‍රහයක් ඇගේ නිල නිවස ඉදිරිපිට ආරම්භ කරමින් එකහෙළා ප්‍රකාශ කළෝය. 

ජාත්‍යන්තර ප්‍රජාව අතර මේ රටේ නිදහසට එරෙහිව විරුද්ධවාදී මතයක් ගොඩනැගීමට උත්සාහ කරන්නවුන්ට එරෙහිව දරු පවුල් පිටින් හෝ ජිනීවා ගොස් සත්‍යය හෙළිකිරීමට සූදානම් බව ද ඔවුහු පැවසූහ. 

කොළඹ 05 සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ප්‍රධාන ශාඛාව ඉදිරිපිට සිට  (08) පෙරවරු 930ට පමණ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර රටපුරා විසිරී සිටි මූල්‍ය වංචාවට හසු වූ තැන්පත්කරුවෝ විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

ඔවුන් සෙලින්කෝ ගොඩනැගිල්ල ඉදිරිපිට සිට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගොස් වත්මන් අගවිනිසුරුවරිය හා සම්බන්ධව ගරු අධිකරණයේදී තැන්පත්කරුවන්ට වූ අසාධාරණය පිළිබඳව දැනුවත් කිරීමේ සංදේශයක් බාරදීමට ද පියවර ගත්තේය.
මීට අමතරව පා ගමනින් බෞද්ධාලෝක මාවතේ දිගේ පැමිණි තැන්පත්කරුවෝ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම සංදේශය ලබාදීමට සැලසුම් කර තිබිණි. 

එහෙත් එම අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා නිල නිවසේ නොසිටි බැවින් එය එදින පස්රුවේ ලබාදීමට තීරණය කළ අගතියට පත් තැන්පත්කරු‍වෝ පිළිවෙළින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට, ස්වාධීන රූපවාහිනී වෙළඳ අංශයට, චීන තානාපති කාර්යාලයට, හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට එම සංදේශය බාරදුන් අතර ඉන් පසුව කොළඹ 07 වි‍‍ජේරාම මාවතේ පිහිටි වත්මන් අගවිනිසුරුතුමියගේ නිල නිවස ඉදිරිපිට අඛණ්ඩව දින තුනක සත්‍යග්‍රහයක් ආරම්භ කළෝය. 

වගකිවයුතු නිලධාරියෙක් පැමිණ මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රකාශයක් ලබා දී සාධාරණයක් ඉටුවන තුරු මෙම සත්‍යග්‍රහය අත්නොහරින බවත් මෙය රජයට කඩේ යාමක් හෝ අතකොලුවක් ලෙස කටයුතු කිරීමක් නොව තැන්පත්කරුවන් ලෙස වූ අසාධාරණය පිළිබඳව නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව වෙත ලබාදීමක් යැයිද ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ පවසති. 

පිරිසිදු අධිකරණයක්, පිරිසිදු නීති ක්ෂේත්‍ර‍යක් මේ රටට ලබා දෙන්න යැයි බැගෑපත්ව ඉල්ලා සිටින එම තැන්පත්කරුවෝ ගරු අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය නැති නොකරන ලෙසද ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී‍. 

එමෙන්ම නීතිගරුක අගවිනිසුරුවරයෙක් පත්කරන ලෙස ඉල්ලා සිටින ඔවුහු මහ පාරක් ගානේ ඇවිද ඇවිද ගොස් හෝ මේ රටේ මහ සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ජනතාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් දැනුවත් කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් යැයිද පවසති.

මිනිස්සු මහමඟට වැටෙනතුරු මෙවැනි අහිංසක මිනිසුන්ගේ ජීවිත සමඟ ලංසු තැබීම කෙතරම් සාධාරණදැයි විමසන ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ ජනමාධ්‍ය මඟින් තමන්ගේ ප්‍රශ්නය යට යන්නට නොදී ලබාදෙන සහයෝගය පිළිබඳව තම කෘතඥතාවය පිරිනැමූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all