Photobucket

Wednesday, January 9, 2013

පැය 48ක් ඇතුළත ඝාතකයෝ කොටු වෙති

ප්‍රා. සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය
කැලණියේ ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයකුත් ඒ අතර
ප්‍රධාන සැකකරු ගුවන්තොටුපොළ දී කොටුවෙයි
කළ අපරාධය පාපොච්චාරණය කරයි
ත්‍රිරෝද රියක් යතුරු පැදියක් අවි ආයුධත් සොයාගනී

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි පුද්ගලයන් පස්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් රහස් පොලිසිය ඝාතනයට යොදාගත් අවි ආයුධ සමඟ ත්‍රිරෝද රථයක් සහ අවි ආයුධ ද සොයාගෙන තිබේ.
 
මේ අපරාධයට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමට පරීක්‍ෂණ කටයුතු පුළුල් ලෙස සිදු කරන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් ලබාදී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසීය. ඒ අනුව පත්කළ රහස් පොලිස් කණ්ඩායම ඝාතනය සිදුවී පැය 48ක් ගතවීමටත් පෙර අපරාධයේ සියලු තොරතුරු අනාවරණය කර ගත්තේය.

ඝාතනය මෙහෙයවූ ප්‍රධාන සැකකරු වූ රංගන නැමැත්තා (07) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටින් පලායාමට උත්සාහ කරද්දී රහස් පොලිසියට කොටුවිය. සෙසු සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගත්තේ ඔහුගෙන් ලද තොරතුරු අනුවය. රංගන කුමාර පෙරේරා (ප්‍රධාන සැකකරු), අසෝක වීරසේකර, අසෝක හේමන්ත පෙරේරා, ප්‍රධාන සැකකරුගේ පියා සරත් එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ සමන් යන පුද්ගලයන් අත්අඩංගුවට ගත් මඩවල ඝාතනයේ සැකකරුවෝ වෙති.

මොවුන් සියලු දෙනාම සිදුකළ අපරාධය පාපොච්චාරණය කරමින් ඒ හා සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් හෙළිකර තිබේ.

කැලණිය ප්‍රදේශයේ දේශපාලඥයකුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බනධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි. මේ සැකකරුවන් සියලු දෙනාම කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඝාතනයට යොදාගත් බව සැක කෙරෙන මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ එහි උණ්ඩ 2ක්, ටී 81 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 2ක්, උණ්ඩ 48ක්, මුහුණු ආවරණ, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක්ද සොයාගත් අවි ආයුධ හා භාණ්ඩ අතර වෙයි.

සැකකරුවන්ව රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමෙන් අනතුරුව දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි. නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ සිදු කරති.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all