Photobucket

Monday, January 7, 2013

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට මෝහනයේ පිහිට

ඔහු තරමක් විශේෂිත වූ අයෙකි. ඊට හේතුව නම් ඔහු වසර 6 ක් හෙරොයින් නැමැති මත්ද්‍රව්‍යයට හුරු වී තම සේසතම නැති කරගත් අයෙකු වූ නිසා ය. එවැනි පුද්ගලයන්ගේ සිතුවිලි ධාරාව ඉතාම අවුල් සහගත බැවින් එවැනි අයකුට මෝහන ප්‍රතිකාර ලබාදිය යුතු ආකාරය සිතා බැලිය යුතුය.

බොහෝ විට සිසොපේනියා තත්ත්වයේ සිටින මානසික රෝගියෙකු ගේ මෙන් දීර්ඝ කාලයක් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යයක් භාවිතා කළ අයගේ ද, මොළයේ ඉදිරිපස ඇති සංනිවේදන සෛලවලට බොහෝ විට හානි වී තිබේ. එසේ වූ විට ඔහුගේ සිත එක අරමුණකම තබා ගැනීම ඉතා දුෂ්කර ය. එසේ වූ විට ප්‍රතිකාර ක්‍රමයට ළඟාවීම ද දුෂ්කරය.

ඔහු වේලාවටත් පෙර මා වෙත පැමිණියේ ය. ඔහුගේ ඒ උනන්දුව ප්‍රතිකාර කිරීමට රුකුලක් වෙයි.

“මගේ වයස දැන් අවුරුදු 33 යි. බැඳලා අවුරුදු 3 යි. බබාලා නැහැ. මගෙ ජීවිතේ දී ලක්ෂ 30 ක් මම කුඩු ගහලා වියදම් කරලා තියෙනවා.” ඔහු එසේ කී විට අපට එය ප්‍රහේලිකාවක් වුණේ ඔහුට ලක්ෂ 30 ක මුදලක් ලැබුණේ කෙසේද යන්නයි. පසුව ඔහුගේ කතාව අසා සිටි විට ඔහුගේ මෙම ගණන් මිණුම් නිවැරදි බව අපට පැහැදිලි විය.

“මම අවුරුදු 18 දී කොරියාවට ගියා රැකියාවකට. මාසයකට ලක්ෂයකට වඩා වැඩි මුදලක් ඉපැයුවා. අවුරුදු 6 ක් කොරියාවේ හිටියත් අන්තිමට මට ඉතිරිවෙලා තිබුණේ අම්මා තාත්තා හිටිය ගෙය විතරයි. කොරියාවේ දෙවැනි අවුරුද්දෙදි තමයි මම මේවට ඇබ්බැහි වුණේ. එතන ඉඳලා දිගටම හෙරොයින් බිව්වා. දිනකට දහස් ගණන් කුඩුවලට වියදම් කළා. ලංකාවට ඇවිල්ලත් නොබී ඉන්න බැරි වුණා.”

“මට හොඳට කොරියන් භාෂාව ලියන්න කියවන්න පුළුවන්. ඒ නිසා මට ලංකාවේ කොරියන් සමාගමක රැකියාවක් ලැබුණා. මම ඒ සල්ලිවලිනුත් කුඩු බිව්වා. පස්සෙ මම කුඩු උරන බව දැනගත් සමාගමේ බලධාරීන් මාව අයින් කළා.

තවත් පොඩි පොඩි රැකියා කළත් මාව කුඩුකාරයෙක් කියලා හංවඩු ගැහුණට පස්සෙ කවුරුවත් මට රැකියා දෙන්නෙ නැහැ. මට ඕන වේලාවක කොරියාවට යන්න පුළුවන්. ඒත් මෙහෙම ගිහිල්ලා වැඩක් නැහැ. මගේ බිරිය තමයි දැන් මට කෑම බීම දෙන්නෙ.”

ඔහු තරමක් සංවේදී වෙයි.“ඒත් තාමත් කුඩු බොන්න සල්ලි නැතිවුණහම බිරියටත් ගහනවා. ගෙදර අයත් මට කියන්නෙ කුඩුකාරයා කියලා. 

මට ඒක දරාගන්න බැහැ. යාළුවොත් කියනවා මම බිරියට ගැහුවම ඔය කුඩ්ඩව අතහැරලා ගෙදර යන්න කියලා. මට ඒක දරාගන්න බැහැ. ඒත් මම කොයිතරම් හිතුවත් මේක පාලනය කරගන්නත් බැහැ. මට උදව් කරන්න සර්.” ඔහු කීමට ඇති බොහෝ දේ පැවැසීය. අවසානයේ ඔහු යම් සහනයක් අස්වැසිල්ලක් ලද බව පෙනිණි.

ඔහුගේ තත්ත්වය මත ඔහුව උපදේශන ක්‍රම මඟින් පමණක් මෙම තත්ත්වයෙන් ගැලවීමට නොහැකි බව තීරණය කළ මම ඔහුව මෝහන ප්‍රතිකාර සඳහා යොමු කරවීමි. පුදුමයකට මෙන් ඔහුගේ ධෛර්යත්, උනන්දුවත්, උත්සාහයත් නිසා ඔහු පළමු දිනයේ ම ඉතා ගැඹුරු මෝහන නිද්‍රාවකට පත්කිරීමට අපට හැකි විය. 

බොහෝ වේලාවක් නිද්‍රාවේ තබා ගනිමින් ඔහුට එම ඇබ්බැහිවීමෙන් ගැලවීමට අවශ්‍ය මෝහන අදහස් ඔහුගේ යටි සිතේ තැන්පත් කරන ලදී.

ඔහුට ලබාදුන් ප්‍රතිකාරයට අමතරව ඔහුගේ පවුලේ අයටත් බිරියටත් මනෝවිද්‍යාත්මක උපදේශන ලබාදෙන ලදී.

තුන්වන වර ඔහු අප වෙත පැමිණියේ ඉතා සතුටින්, සැහැල්ලුවෙන් යුතුව හෙරොයින් නොගන්නා අයෙකු ලෙසිනි. එවැනි දේට ඇබ්බැහි වී සිටින අයෙකු ඉන් මුදවා ගැනීමට අපගේ ප්‍රතිකාර, උපදේශන මෙන් ම අවට සිටින නෑ හිතවතුන්ගේ සහාය ද ඉතාම වැදගත් වේ.

මාස 3 කට පසු ඔහුගේ බිරිය අපහට දැනුම් දුන්නේ ඔහු ඉතා නිරෝගී අයෙකු ලෙස නැවතත් කොරියාවට රැකියාව සඳහා පිටත්ව ගිය බවයි. මේ උදාහරණය මෙවැනි අබ්බැහිවීම්වලට ලක්ව සිටින සියලු අයට ආදර්ශයකි. හිත ඇත්නම් පත කුඩා ද යන කියමන සනාථ කරමින් අවශ්‍යතාව තිබේ නම් ඔබට වැරදි පුරුදුවලින් මිදිය හැකිය. අවශ්‍ය වනුයේ, හරි මාර්ගය තෝරාගෙන සුදුසු උපදේශනයයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all