Photobucket

Monday, January 7, 2013

අද තීන්දුව භයානකයි!

රට අරාජික කරන්න එපා
උත්තරීතර නීතිය හෑල්ලු කරන්න එපා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ

පාර්ලිමේන්තුව හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය කොට රට අරාජික කිරීමේ තීන්දුවක් ලබාදීමට අධිකරණය අද පියවර ගනු ඇතැ’යි ද මෙය දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් යැයි ද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ රාත්‍රියේ පැවැසීය.

වසර තිහක් කොටි ත්‍රස්තවාදයෙන් බැට කෑ රට ජනාධිපතිවරයා විසින් නිදහස් කරගෙන සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යන අවස්ථාවේදී එය අඩපණ කිරීමට මේ කුමන්ත්‍රණකරුවන් කැසකවන බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අධිකරණය විසින් අද ලබාදීමට නියමිත තීන්දුව සම්බන්ධයෙන් ජනතා අදහස් ද අප වෙත ලැබී තිබේ.

දෝෂාභියෝගයට අදාළව අධිකරණය විසින් අද දින ලබාදිමට නියමිත තීන්දුව අගවිනිසුරුතුමියට වාසි සහගත ලෙසින් ප්‍රකාශයට පත්වීමට හොඳටම ඉඩ ඇතැ’යි පෙන්වා දෙන බහුතර ජනතාව එහි අරමුණ රට අරාජික කිරීම බවද පෙන්වා දෙති. එම මතය සනාථ කරන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ලබාදුන් පූර්ව නියෝග හා තීන්දුවලින් ද ඒ බව ගම්‍ය වන්නේ යැයි තවදුරටත් පෙන්වා දෙති. අධිකරණය ලබා දෙන තීන්දු හා නියෝග පිළිවෙළක් හා පෙර සූදානමක් සහිතව ප්‍රකාශයට පත් වන බව ද එහි අර්ථය වන්නේ පෙර සාකච්ඡා මාර්ගයෙන් ගනු ලැබූ තීන්දුවක් අද දිනයේ ප්‍රකාශයට පත්වීම බවද නීති ප්‍රවීණයෝ සඳහන් කරති.

අගවිනිසුරුතුමිය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට හා එහි විමර්ශනයට එරෙහිව රිට් ආඥාවක් ලබා දෙන්නැ’යි ඉල්ලමින් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එහි විභාගය අද පැවැත් වේ. වත්මන් දෝෂාභියෝගයට අදාළ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ඊට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දෙති.

පළමුවැන්න මේ අධිකරණ ක්‍රියාවලියේ මූලික අරමුණ අගවිනිසුරුතුමිය චෝදනාවලින් නිදහස් කොට පාර්ලිමේන්තුව හා එහි ව්‍යවස්ථාදායක බලය දුර්වල කොට රට අරාජික කිරීම බව ය. දෙවැන්න මේ අධිකරණ ක්‍රියාවලියට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නුරුස්සන දේශීය හා විදේශීය බලවේග සිටින බව ය. තෙවැන්න මේ පිටුපස ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේග ගණනාවක් ක්‍රියාත්මක වන බවය. හතරවැන්න අධිකරණයේ නිවාඩු පවතින සමයක පෙත්සම් විභාගයට ගනිමින් අගවිනිසුරුතුමියට වාසි සහගත ලෙස හා පාර්ලිමේන්තුවට අවාසි සහගත ලෙස හදිසියේ මීට පෙර නියෝග නිකුත් කිරීම ය. එම නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව වෙත නිකුත් කර තිබේ.

දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණය විසින් දෙන ලද තීන්දු හා නියෝග ව්‍යවස්ථාව හා උත්තරීතර නීතිය උල්ලංඝනය කරමින් ගැටුම උච්චස්ථානයට පත් කිරීමට හේතු සාධක වී ඇති බවද පෙන්වා දෙන නීති විශාරදයෝ ව්‍යවස්ථා සභාවට හෙවත් පාර්ලිමේන්තුවට නියෝග නිකුත් කිරීමේ බලයක් අධිකරණයට නැතැ’යි ද පෙන්වා දෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all