Photobucket

Monday, January 7, 2013

රිසානා නිදහස් කරන්නැයි සෞදි රජුගෙන් ජනපති ඉල්ලයි

සෞදි අරාබියාවේදී මරණ දඬුවම නියමවී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් නිදහස් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට රජුගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සේවය කළ නිවෙසේ කුඩා බිළිඳකු ඇය අතින් මරණයට පත්කළ බවට චෝදනා කොට පසුගිය 2005 වසරේ මැයි මාසයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය 2007 වසරේ ජූනි මස 16 දා රියාද්හි දවාද්මි අධිකරණය මඟින් මරණ දඬුවම නියමකර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඇතුළු විවිධ පාර්ශ්වයන් උත්සාහ ගෙන තිබෙන අතර ඇයට නිදහස හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ. පසුගිය ඔක්තෝබර් මාසයේ කුවේට් නගරයේ පැවැති ආසියානු සහයෝගීතා සමුළුවට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෞදි අරාබියානු සල්මාන් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරු හමුවී ද්වීපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා කළ බවද එහිදී රිසානා නෆීක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියානු රජයට ස්තුතිය පිරිනැමූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබාදුන් සහයෝගය ඇඟයීමක්ද කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all