ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් අත්-කර ගැනීමේ
අරමුණින් යුතුව මෙහි පැමිණි මහේල ජයවර්ධන ගේ කණ්ඩායමට අවසානයේ හිමිවූයේ
ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ තරග 3–0ක අන්ත පරාජයකි.
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසාන තරගයේ තවත් දිනයක්
ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඊයේ කඩුලු පහක පරාජයක් ලැබීය. ලකුණු 141ක
ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී එම ඉලක්කය ජය
ගැනීමට සමත් විය. සමස්ත තරගයේ කඩුලු 7ක් ලබා ගත් වේග පන්දු යවන ජැක්සන් බර්ඩ්
තරගයේ වීරයා වූ අතර තරගමාලාවේ වීරයා ලෙස නායක මයිකල් ක්ලාක් නම් කෙරිණි.
ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව පන්දු යැවීම ආරම්භ කළේ දඟ පන්දු
ප්රහාරයකිනි. තිලකරත්න ඩිල්ෂාන් යැවූ ආරම්භක ඕවරය නොඉඳුල් එකක් විය. එඩ්
කොවන් ට එක ම ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි විය. ඊළඟට පන්දුව බාර ගත්තේ වේග පන්දු
යවන සුරංග ලක්මාල්ය. ඔහුගේ පළමු පන්දුවෙන්ම ඩේවිඩ් වෝනර් දැවී ගියේය.
ඒ, දෙවැනි
‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි මහේල ජයවර්ධන අතට උඩ පන්දුවක් ලබා දීමෙනි. මේ
අනුව පළමු ඉනිමේදී සාර්ථක පිතිකරණයක නියැලෙමින් ලකුණු 85ක් ලබා ගත් වෝනර්
දෙවැනි ඉනිමේදී ඔහු මුහුණ දුන් පළමු පන්දුවටම දැවී ගියේය.
මුළු ලකුණු බින්දුවේදී වෝනර් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ෆිල් හියුස් ලකුණු
12ක් ලබා ගෙන සිටියදී ඩිල්ෂාන් ගේ පන්දුවට කඩුල්ල මුවා කළ බවට තීරණය කරන්නැයි
කරන ලද ඉල්ලීම පිටියේ තරග විනිසුරු විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
ඩිල්ෂාන් ඊට
අභියෝග කරමින් එය තෙවැනි විනිසුරුට යොමු කළේය. එහෙත් තෙවැනි විනිසුරුගේ
තීරණය වූයේද එය දැවී යාමක් නොවන බවය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට
ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබා ගෙන සිටියේය.
හියුස් අවසානයේ දැවී ගියේද තෙවැනි විනිසුරුගේ තීරණයෙනි. එයද කඩුල්ල මුවා
කිරීමේ වරදිනි. ලකුණු 34ක් ලබා ගෙන සිටියදී රංගන හේරත් ගේ පන්දුවට ඔහු කඩුල්ල
මුවා කළේය.
එහෙත් පිටියේ තරග විනිසුරුගේ තීරණය වූයේ එය දැවී යාමක් නොවන බවය.
එහෙත් ශ්‍රී ලංකාව ‘රෙෆරල්’ ක්‍රමය උපයෝගි කර ගැනීමට තීරණය කිරීමෙන් ඔවුනට
තවත් කඩුල්ලක් ලැබිණි. පන්දු 49කට මුහුණ දුන් හියුස් හතරේ පහර 4ක් එල්ල කළේය.
ඔස්ට්‍රේලියානු දෙවැනි කඩුල්ල බිඳ වැටෙන විට මුළු ලකුණු ප්‍රමාණය 45ක් විය. ඒ වන
විට ඕවර 15ක් සම්පූර්ණ වී තිබිණි. ඔස්ට්‍රේලියානු තෙවැනි කඩුල්ල ලබා ගත්තේ
තිලකරත්න ඩිල්ෂාන්ය.
නායක මයිකල් ක්ලාක් ‘ෂෝට් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින්
සිටි ලහිරු තිරිමාන්නට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 29කට දැවී ගියේය. පන්දු
52කට මුහුණ දුන් ක්ලාක් හතරේ පහර 3ක් එල්ල කළේය.
ක්ලාක් සහ කොවන් ඕවර 16.2කදී
තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගූහ.
මේ තරගයේ ඔස්ට්‍රේලියා අවසන් කඩුලු දෙක ලබා ගත්තේ හේරත්ය. ඒ, කොවන් හා මැතිව්
වේඩ් ගේ කඩුලු ය. කොවන් ලකුණු 36ක් ලබා ගෙන කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මුළු
ලකුණු 108 දී දැවී ගිය අතර වේඩ් (9) පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මුළු ලකුණු
132 දී දැවී ගියේය.
කොවන් පිටියේ තරග විනිසුරුගේ තීරණයට එරෙහිව ‘රෙෆරල්’
ක්‍රමයෙන් වාසියක් බලාපොරොත්තු වූවත් තෙවැනි විනිසුරුගේ තීරණය වූයේද ඔහු
දැවී ගිය බවයි.
ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයට තවත් ලකුණු පහක් පමණක් අවශ්‍යව තිබියදී සවස තේ
පානය සඳහා තරගය නතර කෙරිණි. ඒ වන විට ඔස්ට්‍රේලියාවේ කඩුලු 5ක් ලකුණු 136කට බිඳ
වැටී තිබිණි.
තේ පානයෙන් පසුව යැවුනු දෙවැනි ඕවරයේදී මයිකල් හසී ලකුණු 4ක් ලබා ගත් අතර මිචල්
ජොන්සන් ජයග්‍රාහී ලකුණ ලබා ගත්තේය. තරගය අවසන් වන විට හසී හතරේ පහර 2ක් සමග
ලකුණු 27ක්ද ජොන්සන් එක් ලකුණක්ද ලබා ගෙන සිටියහ. හේරත් ලකුණු 47කට කඩුලු 3ක් ලබා
ගත්තේය.
තරගය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි
වූ මයිකල් හසී ට සුභ පැතූහ. ඔස්ට්‍රේලියා ජයග්‍රහණයට දායක වෙමින් හසී අවසන්
වතාවට ටෙස්ට් තරග බිමෙන් පිටව යද්දී දස දහසකට අධික ඔස්ට්‍රේලියානු නරඹන්නෝ
ඔවුන්ගේ අසුන්වලින් නැගිට අත්පොලසන් දෙමින් ඔහුට සුභ පැතූහ.
ඊයේ සිවුවැනි දින
තරගය ආරම්භ වී පැයයි මිනිත්තු තිස් දෙකක් ඇතුළත ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 278කට
අවසන් විය. ජැක්සන් බර්ඩ් හා මිචල් ජොන්සන් කඩුලු 3 බැගින් ලබා ගත්හ.
පෙර දින තරගය නතර කරන විට පිළිවෙලින් ලකුණු 22ක් හා 7ක් ලබා ගෙන සිටි දිනේෂ්
චන්දිමාල් හා රංගන හේරත් ඊයේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක් එක් කළහ. ඊයේ
තරගයේ යැවුනු 6 වැනි ඕවරයේදී බර්ඩ් විසින් එම සබඳතාව අවසන් කරන ලදී.
බර්ඩ් ගේ
පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් හේරත් දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 10කි. ඒ
සඳහා ඔහු මිනිත්තු 53ක් කඩුල්ලේ රැඳී සිට පන්දු 31කට මුහුණ දුන්නේය.
මුළු ලකුණු 235දී හේරත් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සුරංග ලක්මාල් ලකුණු
නොලබාම දැවී ගියේය. ඒ ජොන්සන් ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙනි.
ඕවර 80ක් අවසානයේ මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 9කට ලකුණු 274ක්ව තිබියදී
ඔස්ට්‍රේලියාව දෙවැනි නව පන්දුව ලබා ගත්තේය. ඉන්පසුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම
පැවතියේ ඕවරයයි පන්දු දෙකක් පමණි.
බර්ඩ් ගේ පන්දුව නුවන් ප්‍රදීප් ගේ පිත්තේ අග
ගෑවී කඩුලු රකින මැතිව් වේඩ් අතට යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම අවසන් විය. හතරේ පහර
දෙකක් එල්ල කරමින් ප්‍රදීප් ලකුණු 9ක් ලබා ගත්තේය.
චන්දිමාල් හා ප්‍රදීප් අවසන්
කඩුල්ල වෙනුවෙන් පන්දු 74කදී ලකුණු 41ක් එක් කිරීමට සමත් වූහ. ඊයේ ශ්‍රී ලංකා
දෙවැනි ඉනිමේ විශේෂ සිදුවීම වූයේ අංක 7 පිතිකරු ලෙසින් ක්‍රීඩා කළ දිනේෂ්
චන්දිමාල් අර්ධ ශතකයක් වාර්තා කිරීමය.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ඔහු
නොදැවී ලකුණු 62ක් ලබා ගෙන සිටියේය. දිරිය පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කළ
චන්දිමාල් දර්ශනීය හතරේ පහර 11ක් එල්ල කරමින් නොදැවී ලකුණු 62ක් ලබා ගත්තේය. පැය
දෙක හමාරක් කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 106කට මුහුණ දුන්නේය.
ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරු මැතිව් වේඩ් පෙරේදා තෙවැනි දින තරගයේදී
නොදැවී ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 138කින් ඉදිරියට
ගෙන ආවේය. හතරේ පහර 9ක් එල්ල කළ වේඩ් පන්දු 158කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 102ක්
රැස් කළේය. ඔස්ට්‍රේලියාව කඩුලු 9කට ලකුණු 432ක් ලබා ගෙන ඔවුන්ගේ පළමු ඉනිම නතර
කළේය.
අනතුරුව ඇරැඹුනු තරගයේ දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න හා මහේල ජයවර්ධන
අර්ධ ශතක ලබා ගනිමින් තරගයේ යළි නැගී සිටීමට පමණක් නොව හතරවැනි ඉනිමේදී
ඔස්ට්‍රේලියාව පීඩනයකට යටත් කර ගැනීමේ බලාපොරොත්තු ද ශ්‍රී ලංකාව තුළ ඇති
කළද මැද පිතිකරු පෙලේ කඩා වැටීම ඒ සියල්ල නැති කර දැමුවේය.
තිලකරත්න ඩිල්ෂාන් (5) මුළු ලකුණු 24දී දැවී යාමෙන් පසුව කරුණාරත්න හා
ජයවර්ධන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108ක සබඳතාවක් ගොඩනැගූහ. ජැක්සන්
බර්ඩ් ගේ පන්දුවට කඩුලු රකින මැතිව් වේඩ් වෙත කරුණාරත්න උඩ පන්දුවක් ලබා දීමත්
සමග 34 වැනි ඕවරයේදී එම සබඳතාව අවසන් විය. මිනිත්තු 109ක් කඩුල්ලේ රැඳී සිටි
කරුණාරත්න අගනා පිතිහරඹයක නියැලෙමින් හයේ පහරක් හා හතරේ පහර 10ක් එල්ල
කළේය.
ඔහු ලකුණු 85ක් ලබා ගැනීමට සමත් විය. 51 වැනි ඕවරය තෙක් ම ජයවර්ධන කඩුල්ලේ රැඳී
සිටියේය. ඒ අතරවාරයේ අනෙක් අන්තයෙන් ලහිරු තිරිමාන්න (7), තිලාන් සමරවීර
(0) හා ඇන්ජලෝ මැතිව්ස් (16) දැවී ගියහ.
මුළු ලකුණු 178 දී ජයවර්ධන දැවී ගියේය. පැය තුනක් හා මිනිත්තු 19ක් තිස්සේ පන්දු
128කට මුහුණ දුන් ජයවර්ධන හතරේ පහර 9ක් එල්ල කරමින් ලකුණු 60ක් රැස් කළේය.
ධම්මික ප්‍රසාද් ලකුණු 15ක් ලබා ගෙන මුළු ලකුණු 202 දී දැවී ගිය අතර පෙරේදා තෙවැනි
දින තරගය නතර කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ කඩුලු 7කට ලකුණු 225ක් රැස්කර ගෙන
සිටියේය.
0 comments:
Post a Comment