ජාති, ආගම්, ස්ත්‍රී පුරුෂ ලෙස පාසල් බෙදා වෙන් කිරීමේ ක්‍රමය මින් ඉදිරියට
නවතා දමන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ වන විට මෙරට පාසල්වලින් 3% ක් බාලක හා බාලිකා ලෙස බෙදා වෙන් කැර ඇතැයිද ඉතිරි
97% ක් වන පාසල් මිශ්‍ර පාසල් යැයිද අමාත්‍යවරයා කීය. ද්විතීයික පාසල් දහසක්
ප්‍රතිනිර්මාණය කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ මේ වසරේ ප්‍රතිනිර්මාණය කළ
ප්‍රථම පාසල වන නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ උත්සවයේදී
ඇමැතිවරයා මේ බැව් පැවසීය.මේ යටතේ නුගවෙල බාලිකා විද්‍යාලය හා නුගවෙල පිරිමි
මහා විද්‍යාලය නුගවෙල මධ්‍යමහා විද්‍යාලය ඒකාබද්ධ කිරීම සිදු විය. මේ වන විට
මෙරට පාසල් 9731 අතුරින් පාසල් 339ක් බාලක බාලිකා ලෙසින් බෙදා වෙන් කැර ඇතැයිද ඒ
හැර මෙරට අනෙක් සියලු පාසල්වන පාසල් 9392 ක් මිශ්‍ර පාසල් යැයිද ඒ මහතා කීය.
මේ රටේ විශ්වවිද්‍යාල දහම් පාසල් කාර්මික විද්‍යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන
ආයතන කිසිවක් බාලක බාලිකා අයුරින් බෙදා වෙන් කැර නොමැති බවත් ඒ නිසා රටේ සමස්ත
පාසල් ක්ෂේත්‍රයද ක්‍රියාත්මක විය යුත්තේ මිශ්‍ර පාසල් ලෙසින් බවත් ඇමැතිවරයා
පැවසීය.
මෙහිදී වැඩිදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය. ද්විතීයික පාසල්
දහක් ප්‍රතිනිර්මාණය වීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ඓතිහාසික සිදුවීමක්
මෙන් මේ
වසරෙහි පළමු වැඩසටහන නුගවෙල මැද මහා විදුහලින් ඇරඹීම හාරිස්පත්තුව
පුරවරයට තවත් ඓතිහාසික සිදුවීමකි.
එදා බෞද්ධ පුනරුදයත් සමඟ ඇරැඹි මහනුවර ධර්මරාජ විදුහල අද පළමු වසරේ සිට 13
වසර දක්වා වැඩිම සිසු පිරිසක් සිටින මෙරට එකම ජාතික පාසලයි. එවැනි පාසලක ඇති අංග
සම්පූර්ණ පහසුකම් සෑම පළාතකටම ලබාදීම රජයේ අරමුණ සහ වැඩපිළිවෙළයි.
කන්නන්ගර මහතාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය යටතේ බිහි වූ මෙරට ඉතාම ජනප්‍රිය
මධ්‍ය මහා විද්‍යාලයක් වන නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය මේ ද්විතීයික පාසල් දහසේ
වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී කෝටි හයහමාරක වියදමකින් සංවර්ධනය කරනවා.
මේ යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක්, භාෂාගාරයක්, ගණිතාගාරයක්,
හරිතාගාරයක් හා නැණස අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඇරඹෙනවා. එමෙන්ම ගෘහ
විද්‍යාගාරයක් නවීන පුස්තකාලයක් ඇතුළු සියලු පහසුකම් මේ විදුහලේ සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබේ. පාසල් දහසක්
ද්විතීයික පාසල් ලෙස සියලු පහසුකම් සමගින් ප්‍රතිනිර්මාණය වීම දැයේ දරුවනට
ලැබුණු අගනා ත්‍යාගයකි.
ඉදිරියේදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට මධ්‍යම පළාත තුළ ඉහළම ඉල්ලුමක් ඇති
වෙයි. දිවංගත ඊ.ඒ. නුගවෙල මහතා මේ විදුහල එදා ඇරැඹීම වෙනුවෙන් කළ කාර්යභාරය
කිසිදා කිසිවකුට අමතක කළ නොහැකිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,
මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
එරික් ප්‍රසන්න වීරවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත
ප්‍රේමතිලක, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලීය විදුහල්පති ඩබ්ලිව්. කේ. රාජපක්ෂ
යන මහත්වරු ඇතුළු පිරික් මේ අවස්ථාවට එක්වූහ.
0 comments:
Post a Comment