Photobucket

Sunday, January 6, 2013

ක්‍රිකට් අනාගතය පිළිබඳ දැක්මක් නැත්තේ උපාලිටද අසන්තටද දෙදෙනාටමද

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ වත්මන් ටෙස්ට් පසුබැසීමත් ඊට යෙදිය යුතු පිළියම් පිළිබඳවත් මේ දිනවල ක්‍රිකට් බලධාරීන් තේරීම් කමිටුව හා ජනමාධ්‍යයේ කතාබහට ලක්වී තිබේ. අයි.පී.එල්. වසංගතය නිසා බිඳ වැටීම ඇරඹුණු ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දැන් එස්.එල්.පී.එල්. ඇතුළු තවත් ප්‍රිමියර් ලීග් තරගාවලි හේතුවෙන් පහළටම ඇද වැටී තිබේ.
 
2012 වසර අවසන්වූයේද ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 100කට දැවී ගොස් අන්ත පරාජයකට පත්වෙමිනි.

ඉදිරි 2013 වසරද ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග අල්ප වසරක් බවට පත්වී තිබෙන අතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් විශ්‍රාම ගැනීමේ වයසේ පසුවෙති.

මෙම විශ්‍රාම වයසේ සිටිනා ක්‍රීඩකයන් ටෙස්ට් එක්දින හා 20 -20 තරග ත්‍රිත්වයම ක්‍රීඩා කිරීම පිළිබඳව නොයෙක් මත පළවී ඇති අතර මෙයින් කුමන තරගවලින් මොවුන් ඉවත්විය යුතුද යන්න සාකච්ඡාවට භාජනයවී තිබේ.

මින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගතහොත් ඉදිරි 2013 දී නව නායකයා ලෙස පත්වන ඇන්ජලෝ මැතිව්ස් සමග තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් අවශ්‍ය බව පිළිගත යුතු කරුණකි.

මෙම වසරේ පැවැත්වෙන බංග්ලාදේශ - සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලි සඳහා සියලුම නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට අනිවාර්යයෙන්ම කටයුතු කිරීම අනාගතය සඳහා වැඩදායක වෙයි.

මෙම ටෙස්ට් තරග සඳහා සංගා, මහේල, ඩිල්ෂාන් හා තිලාන් ක්‍රීඩා කිරීම නිශ්ඵල ක්‍රියාවකි. මෙම තරගවලට ක්‍රීඩා කර ලබන දේ ඔවුනට ප්‍රයෝජනවත් වුවද එය රටට නම් ප්‍රයෝජනවත් නොවේ.

මේ තත්ත්වය ක්‍රිකට් සභාපතිවරයා මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයාද අවබෝධ කරගැනීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට වටියි.
තේරීම් හොඳ නැති බවත් ක්‍රීඩකයන් වෙනස් කළ යුතු  යැයි පසුගියදා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්  තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්ට පෙන්වා දී ඇති බව පුවත්පත් වල පළ විය.
එහෙත් අයි.පී.එල්. සහ ප්‍රිමියර් ලීග් ගහලා ටෙස්ට් ක්‍රිකට් විනාශ කරන කොට ටෙස්ට් ක්‍රිකට්  ගැන හිතුවද? යැයි අසන්ත පෙරළා ප්‍රශ්න කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට අනාගත දැක්මක් නොමැති බව පැහැදිලි කරුණකි.  ඔවුන් ටෙස්ට් ක්‍රිකට් විනාශ කරමින් මුදල් සෙවීමේ 20-20 තරග පසුපස යෑම මෙම තත්ත්වයට මූලික හේතුව විය. අසන්ත එහිදී  කියන්නේ සත්‍යයකි.

එහෙත් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්ට ඉදිරි ශ්‍රී ලංකා  පිලක් නිර්මාණය කරගැනීමේ  සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානමක් ඇති බව නම් නොපෙනේ.

විදේශ රටවල් තම ‍‍‍ජ්‍යෙෂ්ඨයන් වෙනුවට ක්‍රම ක්‍රමයෙන් තරුණයන් ආදේශ කරනු දැක දැකත් අපේ තේරීම් කමිටුව  කරන්නේ සැමදා එකම කණ්ඩායමක් නම් කිරීම පමණකි.

2013 දී ටෙස්ට් තරග සඳහා තරුණ ක්‍රීඩකයන් යොදවා වයස්ගත ක්‍රීඩකයන් විවේක ගැන්වීමට අසන්ත ද මෙල්ට හැකියාවක් තිබේද? එසේ නොමැති බව ක්‍රිකට්  විධායක කමිටු සාමාජිකයන් පවසන්නේ ඔහුගේ පෙර  ක්‍රියා කලාපය ඔවුන් දන්නා බැවිනි.

‍පොන්ටින්ලා, හසීලා විශ්‍රාම යද්දී ඩිල්ෂාන්ලා, තිලාන්ලා, තරුණයන්ට තැන දී නොයන්නේ තේරීම් කමිටුවට ක්‍රිකට් බලධාරීන්ට කොන්දක් නැති නිසා බව බොහෝ දෙනා පවසති.

වෙන රටවල තේරීම් කමිටුව ක්‍රීඩකයන් සමග සාකච්ඡා කර මෙම තීරණ ගනිති. එහෙත් මෙහෙ වෙන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය දේවල්  තේරීම් කමිටුව ක්‍රියාත්මක කිරීම නොවේද?

ඩිල්ෂාන් සහ තිලාන් ඕස්ට්‍රේලියාවේ දී සමුගන්නා බවට කලින් ආරංචි පැතිර ගිය නමුත් දැන් ඔවුන් නිහඬ වී  සිටිති.

මහේලලා සංගලා ඩිලාලා තිලාන්ලා සියලු දෙනාම ගහලාත් පරදින්නේ මෙහෙම නම්  නවකයන්ට තැනක් දීලා  පැරදුනාම අඩු ගානේ අනාගතයටවත් යමක් තියේවි' යැයි ක්‍රීඩා ලෝලීහු දැන් පවසති.

කෙසේ වුවද 2015 දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිළිබඳව දැන් සිටම  තීරණයක් ගැනීමට ක්‍රිකට් බලධාරීන්  සහ තේරීම් කමිටුව කටයුතු කළ යුතුවේ.

එම තරගාවලියට සංගා, මහේල හා ඩිල්ෂාන්  ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි ස්ථාවර තත්ත්වයක් ගොඩ නගා ගත යුතුවේ. තරුණ ක්‍රීඩකයන්ට තැන නොදී ‍‍‍ජ්‍යෙෂ්ඨයන් දිගටම ක්‍රීඩා කර 2015ට ආසන්නයේ ඉවත් වුවහොත් ශ්‍රී ලංකාව අමාරුවේ වැටෙන බව තේරීම් කමිටුව මෙන්ම ක්‍රිකට් බලධාරීන්ද අවබෝධ කර ගත යුතුවේ.

කෙසේ වුවද උපාලි ධර්මදාස ප්‍රමුඛ ක්‍රිකට් බලධාරීන්ටවත් අසන්ත ද මෙල් ප්‍රමුඛ තේරීම් කමිටුවටවත් කිසිදු අනාගත දැක්මක් නොමැති බව පැහැදිලි කරුණකි. මේ පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාගේද අවධානය යොමු වී ඇති බව පසුගිය  සතියේ වාර්තා විය.

පුද්ගලික න්‍යාය පත්‍ර ඉවතලා රටේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවෙන්නැයි  ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුනේ  එහෙයිනි. එහෙත් ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක්  බවට පත් නොකර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සොයා බැලීම ඔහුගේ වගකීමකි. මන්ද යත් ක්‍රිකට් ආයතනයත් තේරීම් කමිටුවත් ඔහුගේ පාලනයේ පවතින බැවිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all