Photobucket

Sunday, January 6, 2013

අම්මා අපිට ‍පොළොවේ පය ගහලා ඉන්න ඉගැන්වූවා

- විශාරද නන්දා මාලිනියගේ බාල දියණිය ‘අමා’ දැක් වූ අදහස්

ලංකාවේ ඉන්න බොහෝ කලාකරුවන්ගේ දූ පුතුන් ගැන අපි දන්නවා. ඒ වගේම ඔවුන් අපිට මුණ ගැහිලත් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ අය අම්මා තාත්තගේ අඩිපාරේ යමින් ඒ ඒ ක්‍ෂේත්‍රවලට එනවා. දක්ෂතා පෙන්වනවා. නමුත් මේ අය අතර තවත් කීප ‍පොළක් ඉන්නවා. ඔවුන් අම්මා තාත්තා ඉන්න  ක්‍ෂේත්‍රවලට එන්නේ නැහැ. එහෙම එන බවක් පෙනෙන්නෙත් නැහැ. අද අපි එවැනි කෙනෙක් එක්ක කතා කරනවා. ඇය ‘අමා රන්බදු’  අමා කියන්නේ විශාරද නන්දා මාලිනියගේ බාල දියණිය. ඇය මේ වෙද්දී යොමු වී සිටින්නේ පෙර පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රය පැත්තට.

ඔබට ඉතා හොඳින් ගීත ගායනා කළ හැකි බව අප අසා තිබෙනවා. ඇයි එහෙම නම් ජනප්‍රිය ගායිකාවක් වෙන්න උත්සහ නොකරන්නේ?
(සිනාසෙමින්) “අපේ අම්මා කවදාවත් එවැනි පැත්තකට අපිව යොමු කරවලා නැහැ. ඒ ගැන කතා කරලත් නැහැ. ඒකත්, එක හේතුවක් වෙන්න ඇති.”
“මීට අමතරව තවත් එක් හේතුවක් තමයි මටවත්, අපේ අක්කාටවත් ගීත ගායනා කරලා ජනප්‍රිය ගායිකාවන්  හැටියට නමක් හදාගන්න තිබෙන කැමැත්තේ අඩුව. මම දන්නේ නැහැ අනාගතය කොහොම වේවිද කියලා. නමුත් දැන් තත්ත්වය ඕකයි. ඇත්තටම ඒ ඇල්ම අපිට හරිම අඩුයි.”

ඔබ සංගීතය ප්‍රගුණ කොට තිබෙනවා.?
ඔව්. මම ඉන්දියානු සංගීතය හැදෑරුවා . ඩිප්ලෝමාවත් කළා. ඒ වගේම වයලීන් වාදනයත් ප්‍රගුණ කළා. පියානෝව තරමක් දුරට පුළුවන්. හැබැයි මේ හැමදේම ඉගෙන ගෙන මම නිකම් ඉන්නේ නැහැ. මගේ පෙර පාස‍ලේ දරුවන්ට උගන්වනවා. එයින් මම ලොකු තෘප්තියක් ලබනවා. ඉදිරියේ දී මම බලා‍පොරොත්තු වෙනවා විශේෂයෙන්ම පුංචිම දරුවන්ට සංගීතය උගන්වන්න. මොකද අපි පුංචි කා‍ලේ ළමා ගීත තුළින් ඉතා උසස් සාහිත්‍ය ඥානයක් ලබාගත්තා. අද දරුවෝ  කතා කරන්නේ ටෙලි නාට්‍යවල ඇසෙන වචන විතරයි. එයින් භාෂාමය ඥානයක් ඔවුන් ලබන්නේ නැහැ. වචනවල තේරුම් දැන ගන්නේ නැහැ.

ඇයි ඔබ විෂයයක් විදිහටම පෙර පාසල් අධ්‍යාපනය ඉගෙන ගත්තේ . ජීවන වෘත්තිය ඒක කර ගත්තේ?
“අම්මා වගේ වෘත්තිය ගායිකාවෝ වෙන්න නම් අපි දෙන්නටම වුවමනා වුණේ නැහැ. ඒක නිසාම අපි වෙනත් පැත්තකට යොමු වුණා. අක්කා නර්තනය හදාරලා ඒ පැත්තෙන් ගුරු වෘත්තියට යොමු වුණා.”
“මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධව වසර දෙකක පාඨමාලාවක් කළා. ඉන් පස්සේ ගේට් වේ ජාත්‍යන්තර පාස‍ලේ ගුරුවරියක් ලෙස කටයුතු කළා.”

“ඔහොම සිටියෙදී තමයි විවාහ වුණේ. ඉන්පසුව එංගලන්තයට යන්න සිද්ධ වුණා. එහිදී මම තව දුරටත් පෙර පාසල් විෂය ඉගෙන ගන්න ගමන් ගුරුවරියක් ලෙස සේවය කළා. මෙයින් මා ලබා ගත් අත්දැකීම් ඉතාමත්ම සුවිශේෂීය”

“කොහොම හරි ඊට පස්සේ තමයි ලංකාවට ඇවිත් මම පෙර පාසලක් ආරම්භ කළේ. හැබැයි මගේ පෙර පාසලට ගන්නේ දරුවෝ විසි පස් දෙනයි. ගුරුවරු හතර දෙනෙක් ඉන්නවා. මීට වඩා දරුවෝ මම ගන්නෙත් නැහැ.

ඇයි ඒ.?
පෙර පාසල් අධ්‍යාපනය විෂයය තුළ යම් ප්‍රමිතියක් තිබෙනවා. මේවා ඇත්තටම මම වැඩිදුර ඉගෙන ගත්තේ එංගලන්තයෙන්. ඒ අනුව තමයි එහි ප්‍රමිතිය රැක ගැනීමේ අදහස අනුව මම මේ ක්‍රියා පිළිවෙත අනුගමනය කළේ.”
“ඒ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මෙවැනි ප්‍රමිතීන් රැකගන්න වෙනවා.”
“අනික ගුරු වෘත්තිය කියන්නේ ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන්  රස්සාවක් නොවෙයි. ඒකට ලොකු කැප කිරීමක්  කරන්න වෙනවා. දරුවෝ  පාසල ඇරිලා වේලපහ ගෙදර ගියාට ගුරුවරුන්ට වැඩ ඕනෑ තරම් තිබෙනවා.  අපි මේවා අවබෝධ කර ගත යුතුයි. ළමා අධ්‍යාපනය කියන්නේ පෞද්ගලිකව ඔවුන්ගේ මානසික වර්ධනය ඉහළ නංවන එකටයි. එහෙම නැතුව ‍පොතේ පතේ දැනුම පමණක්ම නමෛයි.

අපි නැවත හැරෙමු ඔබේ මවගේ ගීත දෙසට. අම්මාගේ ගීතවලින් වැඩිපුර අහන්න කැමති ගීත ඇති...?
“අ‍පොයි ඔව්. එහෙම ගීත රැසක් තිබෙනවා. මම අම්මගේ ගීත වලින් වැඩිපුරම කැමති ගීත තමයි “සරුංගල් වරල් සැ‍ලේ” “රත්තරං රටේ උපන්න” වගේ ඒවා. මේ ගීත මම පාස‍ලේ දී දරුවන්ටත් උගන්වනවා. අන්න ඒ වගේ වෙලාවට නම් ගායනා කර පෙන්වන්න සිද්ධ වෙනවා.” (සිනාසෙයි)

එහෙම නැතුව  උත්සවයක් වගේ තැනකදි ගායනා කරලත් නැහැ..?
“නැහැ...ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. නමුත් ගායනා කරලා නැහැ.”

ඇයි එහෙම ගායනා නොකරන්නෙ කියලා මම ආපහු ඇහුවොත්?
“අපේ අම්මා කවදාවත් අපිට කියලා නැහැ ඇගේ ගීත කියන්න කියලා. ඒ වගේම ඇය එපා කියලත් නැහැ. නමුත් අපි ගායනා කරලා නැහැ.”

“පුංචි කා‍ලේ ඉඳලම අපි තුළ තිබුණේ තනිවම නැගී සිටීමේ ක්‍රියා පිළිවෙතක් . ඒක හුරු කළෙත් අම්මයි. ඇය අපිට නරක දේ නරකය කියන්න පුරුදු කළා. හොඳ දේ හොඳ විදිහට පිළිගන්න කියා දුන්නා.”

“අක්කාවයි මාවයි දෙන්නව හැදුවේ දුක සැප  දෙකම දරා ගන්න පුළුවන් විදිහටයි. ‍පොළොවේ පය ගහලා  ජීවත් වෙන්න පුළුවන් විදිහටයි. ‍පොඩි කා‍ලේ  ගෙදර වාහනය තිබුණත් ඇතැම් වෙලාවට අපිට බස් එකේ ඉස්කෝ‍ලේ යන්න කිව්වා. සල්ලි කීයක් හරි  ඉල්ලුවහම හේතුව කියන්නම ඕන. අම්මා නිතරම කිව්වේ ඔය දෙන්නා  කොළඹ තරු පහේ හෝටලයකින් කන්න වගේම නුගේගොඩ හන්දියේ පුංචි කඩේකට ගිහින් කන්නත් පුරුදු වෙන්න ඕන කියලයි.

ඔය වගේ ජීවිතේ සමබරව ඉදිරියට  අරගෙන යන්න ඇය ලබාදුන් අවවාද බොහොම ඉහළයි. ඒ දවස්වල ගෙදර වැඩට කෙනෙක් හිටියත් අපිට පැවරුණු වැඩ තිබුණා. ඒවා අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ දේවල් තුළින් තමයි අපි ජීවිතේ ඇත්ත තත්ත්වය තේරුම් ගත්තේ. දැන් වුණත් කොයි තරම් කාර්ය බහුල වුණත් අපේ ගෙදර  වැඩ අපිටම කරගන්න පුරුදු වී තිබෙන්නේ ඒ කා‍ලේ ඇගෙන් ලැබුණු මග පෙන්වීම නිසයි.”
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all