Photobucket

Tuesday, January 1, 2013

තෙවැනි ටෙස්ට් තරගයේදී ග්‍රෙග්ට ගෞරව

ටෝනි ග්‍රෙග් පදිංචිව සිටි සිඩ්නි නුවර දී නව වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තෙවැනි ටෙස්ට් තරගයේදී ග්‍රෙග් ට ගෞරව පිරිනැමෙනු ඇත. 66 වියෙහි පසුවූ හිටපු එංගලන්ත ක්‍රිකට් නායක ග්‍රෙග් බොහෝ කලක් ඔස්ට්‍රේලියානු රටවැසියකුව සිටි අතර ඔහු හෘදයාබාධයකින් පෙරේදා සිඩ්නි රෝහලකදී මිය ගියේය. ග්‍රෙග් ට පෙණහැල්ලේ පිළිකාවක් තිබෙන බවට පසුගිය ඔක්තෝබරයේදී අනාවරණය විණි.

සිඩ්නි තරගයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතේ කළු පටි පැළඳ ක්‍රීඩා කරමින් ග්‍රෙග් ට ගෞරව දක්වනු ඇතැයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් ප්‍රකාශ කළේය. තරගය ආරම්භයට පෙර ග්‍රෙග් වෙනුවෙන් මොහොතක නිශ්ෂබ්දතාවක්ද පවත්වනු ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා කළමනාකාරිත්වයද ඔවුන්ගේ බලවත් ශෝකය ග්‍රෙග් ගේ පවුලට පළකර සිටියහ. ග්‍රෙග් ගේ මරණයෙන් තමන් ඉතාමත් දුක් වේදනාවටත්, කනගාටුවටත් පත්ව සිටින බවත් ඔහුගේ වියෝව පිළිබඳව තමන් පසුතැවිලි වන බවත් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවූහු කියා සිටියහ.

අතිශයින් ජනප්‍රිය ජගත් රූපවාහිනී ක්‍රිකට් නිවේදකයකු වූ ටෝනි ග්‍රෙග් ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉතාමත් ආදරය කළ ශ්‍රී ලංකාවේ හිතවතෙකි. ඔහුගේ හදිසි වියෝවෙන්, විශේෂයෙන් සිඩ්නි නුවරත් සමස්ත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝකයත් මහත් ශෝකයට පත්ව සිටී.

දකුණු අප්‍රිකාවේ උපත ලද ටෝනි ග්‍රෙග් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල කැරලිකාර ‘වර්ල්ඩ් සීරීස් ක්‍රිකට්’ තරගාවලිය දියත් කිරීමට උපරිමයෙන් කටයුතු කළේය. මේ තරගාවලිය නිර්මාණය කිරීමට උපකාරී වීම හේතුවෙන් ග්‍රෙග් ට එංගලන්ත ක්‍රිකට් නායකත්වය අහිමි වූ බවත් එහෙත් ඒ හේතුව නිසාම ඔහුට ඔස්ට්‍රේලියාවේ ගෙෘරවය හිමි වූ බවත් ග්‍රෙග් ගේ ක්‍රිකට් විස්තර ප්‍රචාරක සහකරු හා හිටපු ඔස්ට්‍රේලියා නායකයකු වන රිචී බෙනෝ කියා සිටියේය.

සිවුදරු පියෙකු වන ග්‍රෙග් ට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයද ගෙෘරව දක්වා සිටියේය.

“ටෝනි ග්‍රෙග් ඉතාමත් දක්ෂ තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුනු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා නායකයෙකි. ඔහු 1970 ගණන්වල ක්‍රිකට් ක්‍රීඩාවේ මුහුණුවර වෙනස් කිරීමට ප්‍රධාන කාර්යයක් ඉටුකළ යෝධ මිනිසෙකි” යැයි එම ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් කොලියර් ප්‍රකාශ කළේය. ටෝනි ග්‍රෙග් පිත්තෙන් හෝ පන්දුවෙන් තරගයක් වෙනස් කිරීමට හැකියාවක් තිබූ අති විශිෂ්ට ක්‍රීඩකයෙක් බව එම මණඩලයේ සභාපති ගිල්ස් ක්ලාක් පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all