Photobucket

Tuesday, January 1, 2013

අපූරු හොරාගෙන් අපරාධ වැලක් හෙළිවෙයි

ගම්පොළ නගරයේ වෙළඳ සැලකට රාත්‍රී ඇතුළු වී එහි තිබූ ගස් කපන කියත ඇතුළු ලක්ෂ 3 කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ සොරාගෙන එම භාණ්ඩ වලට බිලක්ද දමා ඊට අයත් සියලු වඟකීම් සහතික හා අදාල ලිය කියවිලි ද රැගෙන ගිය අපූරු සොරෙකු අත්අඩංගුවට ‍ගත් ගම්පොළ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය එම සැකකරු ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ජනවාරි මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබිණි. 

රක්ෂිත බන්ධනාගාර ගත වූයේ පුස්සැල්ලාව ප්‍රදේ‍ශයේ පදිංචි වැලිවතුරේ ගෙදර චන්දන කුමාර නැමැති අයෙකි. සැකකරු මංකොල්ල කෑම් ගනනාවකට සම්බන්ධ බවත් ගම්පොළ නගරයේ සිදුවූ ප්‍රසිද්ධ මිනී මැරුමක ප්‍රධාන විත්ති කරුවකු බවත් අනාවරණය කරගෙන ඇති පොලිසිය මොහුගේ සොරකම්ද හාස්‍ය ජනක බව ද අනාවරණය කරගෙන ඇත. වෘත්තියෙන් නිවාස හා වෙළඳ සැල්වල සිවිලිං ගසන්නකු වන මොහු ඒ සෑම වහලකම සිවිලිං ගැසීමේ දී කාටත් හොරා පිටතින් ඇතුළු වීමට තැනක් සකසා සිවිලිම ගැසීම සිදුකර තිබේ. පසුව වහලට නැග තමා සැකසූ තැනින් රිංගා එම වෙළඳ සැල් හා නිවාස මංකොල්ල කෑම සිදු කර තිබේ. 

මේ ලෙස සුස්සැල්ලාව නගරයේ හා අවට ප්‍රදේශවල වෙළඳ සැල් හා නිවාස මංකොල්ල කා ඇති මොහු පුස්සැල්ලාව නගරයේ ඇති ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ශාඛාවක් සිවු වතාවක් මංකොල්ල කා ඇත. ගම්පොළ නගරයේ ඇති මෙම වෙළඳ සැලට වහලයෙන් ඇතුළු වී ඇති මෙම සැකකරු ලණුවක් යොදා වෙළඳ සැලට බැස එහි තිබූ ගස් කපන යන්ත්‍ර ( චේන්ෂෝ) ග්‍රයින්ඩර් ආදී විශාල යන්ත්‍ර තොගයක් සොරාගෙන ඒවාට අදාල වඟකීම් සහතික පත් හා Catalogue ද රැගෙන සියල්ලට බිල් ද දමාගෙන ඇත්තේ එවැනි භාණ්ඩ ලඟ තබාගෙන සිටීමේ දී ඇති වන ගැටළු වලට විසදුමක් ද ලෙසිනි. 

මේ සියල්ල මොහු කර ඇත්තේ තමා සතු දුරකථනයේ එලියෙන් වන අතර සොරා ගත් භාණ්ඩ ලණුවේ ආධාරයෙන් වෙළඳ සැලෙන් එළියට ගෙන ‍ත්‍රීරෝද රථයකින් රාත්‍රී කාලයේ දීම පුස්සැල්ලාව ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණි. මේ අතර ගම්පොළ කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරින් පුස්සැල්ලාව ප්‍රදේශයේ අලුතින් ගස් කපන යන්ත්‍ර කුළියට ලබා දෙන අයෙකු පිළිබඳව විමසිල්ලෙන් සිට ප්‍රශ්න කිරීමේ දී මෙම සියලු තොරතුරු අනාවරණය වී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ගම්පොළ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරින්ද මොහු ගැන විමර්ශනය කිරීමේ දී මෑතක දී මහත් ආන්දෝලනයට තුඩු දුන් ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ ලීසිං සමාගමේ ආරක්ෂක නිලධාරියා මරා එහි සේප්පුව කපා කොල්ල කෑමට උපයෝගී කර ගෙන ඇත්තේ මොහු සොරාගත් ග්‍රයිංඩරයක් බවත් එම නිලධාරියා මරා දැමීමට එහි කළමනාකරුට හවුල් වී ඇත්තේ මොහු බවත් අනාවරණය කරගෙන තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all