Photobucket

Monday, January 7, 2013

ඔස්ට්‍රේලියා එක්දින නායකත්වය බේලිට

ශ්‍රී ලංකාව ට එරෙහිව පැවැත්වෙන පළමු හා දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග සඳහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ජෝර්ජ් බේලි පත්කර තිබේ.

සති කිහිපයක් තිස්සේ පාදයේ ආබාධයකින් පෙළෙමින් සිටින නායක මයිකල් ක්ලාක් ට විවේකයක් ලබා දීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ.ක්ලාක් වෙනුවට මේ තරග දෙක සඳහා නායකත්වයට නම් කර තිබෙන බේලි ප්‍රථම වතාවට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමට පිවිසියේ 2012 මාර්තු 16 වැනි දින බටහිර ඉන්දීය කොදෙව්හිදීය.

ඔහු කණ්ඩායමට එක් වීමෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙතෙක් ක්‍රීඩා කර තිබෙන එක්දින තරග දහතුනේ දී බේලි ලකුණු 441ක් ලබා ගෙන තිබේ. වෙනත් කිසිම ඔස්ට්‍රේලියානු එක්දින පිතිකරුවෙක් එම වකවානුවේ ඊට වැඩියෙන් ලකුණු ලබා ගෙන නැත.

ක්ලාක් ට අමතරව, පසුගිය සැප්තැම්බර් 3 වැනි දින සාජාහි පාකිස්තානය සමග ක්‍රීඩා කළ අන්තිම ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමෙන් ඉවත්ව සිටින අනෙක් ක්‍රීඩකයන් වනුයේ මයිකල් හසී, ඩේවිඩ් වෝනර්, මැතිව් වේඩ්, ඩෑන් ක්‍රිස්ටියන් හා ජේම්ස් පැටින්සන්ය. 

මයිකල් ක්ලාක් ට මෙන්ම මැතිව් වේඩ් හා ඩේවිඩ් වෝනර් ට ද විවේකයක් ලබා දී තිබේ. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි දැන් සිටම අවධානය යොමු කරමින් මයිකල් හසී ශ්‍රී ලංකාව ට එරෙහි එක්දින තරගමාලාවට ක්‍රීඩා නොකිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ජාතික තේරීම් පැනලය තීරණය කර තිබේ. 

ඊයේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් වූ ශ්‍රී ලංකාව සමග තරගය හසී ගේ අවසන් ටෙස්ට් තරගය විය. ජේම්ස් පැටින්සන් හා ෂේන් වොට්සන් තවමත් සම්පූර්ණ ශරීර සෞඛ්‍ය තත්ත්වයට පැමිණ නොතිබීම නිසා ඔවුන් මේ තරග දෙක සඳහා වූ තේරීම්වලට ලක් කර නැති අතර ඩෑන් ක්‍රිස්ටියන් සංචිතයට ඇතුළත් කර නැත.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ලබන 11 වැනිදා මෙල්බර්න්හිදීත්, දෙවැනි එක්දින තරගය ලබන 13 වැනි දින ඇඩිලේඩ්හිදීත් පැවැත්වේ.

ඔස්ට්‍රේලියානු සංචිතය මෙසේය. ජෝර්ජ් බේලි (නායක), බෙන් කටිං, සේවියර් ඩොහර්ටි, ඒරන් ෆින්ච්, බ්‍රැඩ් හැඩින්, ෆිලිප් හියුස්, ඩේවිඩ් හසී, මිචල් ජොන්සන්, උස්මාන් කවාජා, ග්ලෙන් මැක්ස්වෙල්, ක්ලින්ට් මැකේ, ස්ටීව් ස්මිත්, මිචල් ස්ටාක්.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all