Photobucket

Friday, January 11, 2013

අලුත්කඩේ උණුසුම්

අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීමට විරුද්ධව හා පක්‍ෂව උද්ඝෝෂණ පැවැත්වීමට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට රැස්‌වූ දෙපිරිසක්‌ අතර (10 දා) දැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති විය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට විරුද්ධව විරෝධතා පා ගමනක්‌ සංවිධානය කර තිබූ නීතිඥ උද්ඝෝෂණ ව්‍යාපාරයට දිවයිනේ නන්දෙසින් පැමිණ සිටි නීතිඥවරුන් විශාල පිරිසක්‌, දේශපාලන පක්‍ෂ නියෝජිතයන් රැසක්‌ හා සිවිල් සංවිධාන  ක්‍රියාකාරීන් කීපපළක්‌ එක්‌ වී සිටි අතර දෝෂාභියෝග ක්‍රියාවලියට පක්‍ෂව ආණ්‌ඩු පක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරුන් කීපදෙනකුගේ සංවිධානයෙන් පැමිණ සිටි පිරිස්‌ අතර මෙම ගැටුම්කාරි තත්ත්වය ඇති විය.

නීතිඥ එකමුතුවේ විරෝධතා පා ගමන හේතුවෙන් අධිකරණය අවට හා මාර්ග දෙපස දැඩි පොලිස්‌ හා සන්නද්ධ රැකවල් දමා තිබූ අතර එම උද්ඝෝෂණ පිරිස්‌ පා ගමනින් අධිකරණය ඉදිරිපිට බෝධිය අසලට පැමිණි විට ඔවුන්ගේ ගමන වැළැක්‌වීමට ඊට එරෙහිව පැමිණ සිටි පිරිස මාර්ගය අවහිර කරමින් බාධා කළහ. මේ හේතුවෙන් දැඩි වචන හුවමාරුවක්‌ වී ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති විය.

නීතිඥ එකමුතුවේ උද්ඝෝෂණකරුවන් වෙත කඩාවැදුණු පොලු මුගුරුවලින් සන්නද්ධ කොටසක්‌ අමානුෂික ලෙස ඔවුන්ට පහර දෙන්නට වූ අතර එම පහරදීම සිදු කරනු ලැබූයේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්‍ෂව උද්ඝෝෂණ පැවැත්වීමට පැමිණි පිරිස්‌ බවට පහරකෑමට ලක්‌වූවෝ පවසන්නට වූහ.

දෝෂාභියෝගයට සහාය පළකරමින් තවත් පිරිසක්‌ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටට පැමිණ සිටි අතර ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම පිරිස අතර සිටි පිරිසක්‌ විසින් බව පහර කෑමට ලක්‌වූවෝ පැවැසූහ.

විශාල පොලුවලින් සන්නද්ධව පැමිණි පනහකට ආසන්න මැර පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කළ අතර එහිදී කීපදෙනෙක්‌ම තුවාල ලැබූහ.

ගැටුම්කාරි තත්ත්වයත් සමගම එම ස්‌ථානයට පැමිණි කොළඹ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මැකාති පෙරේරා සහ සහකාර පොලිස්‌ අධිකාරි ජයරත්න මනම්පේරි මහත්වරු තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.

දෙපිරිස අතර ගැටුම පැතිර යැම වැළැක්‌වීමට පියවර ගත් පොලිසිය නීතිඥ එකමුතුවේ උද්ඝෝෂණකරුවන්ට වෙනත් මාර්ගයකින් පා ගමන පවත්වන ලෙසට උපදෙස්‌ ලබාදුන්නේය.

ඒ අනුව එම උද්ඝෝෂණකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණ පිවිසුම් ගේට්‌ටුවෙන් මාර්ගයට පිවිස කොටුව සම්බුද්ධාලෝක විහාරය දක්‌වා විරෝධතා පා ගමන පවත්වා විසිර ගියහ.

උද්ඝෝෂණ ව්‍යාපාරයට සමගාමීව පැවැති විරෝධතා පා ගමන් හේතුවෙන් අධිකරණය අවට, පිටකොටුව, කොටුව, පාර්ලිමේන්තුව අවට බත්තරමුල්ල, රාජගිරිය, මාර්ගයන්හි දැඩි වාහන තදබදයක්‌ පැවතිණි. රියෑදුරන් හා ජනතාව ඉන් දැඩි අපහසුතාවට පත් විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all