Photobucket

Friday, January 11, 2013

සා.පෙළ. විද්‍යා ප්‍රශ්න පත්‍ර සොරකමේ පස්‌දෙනා යළි රිමාන්ඩ්

මෙවර පැවැති (2012) අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින ටියුෂන් ගුරුවරයා ඇතුළු පිරිසට ඇප ලබා නොදෙන්නැයි රහස්‌ පොලිසිය (10 වැනිදා) කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කලින් පිටවූ බව කියන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන් ස්‌කෑන් කර ගන්නා ලද දෙදහසක පමණ පිටපත් ප්‍රමාණයක්‌ කොළඹ බොරැල්ල, කිරිබත්ගොඩ, රාගම, මිනුවන්ගොඩ ඇතුළු ගම්පහ අවට ටියුෂන් පංති ගණනාවක ඉගෙනුම ලබන සිසුන් අතට පත්ව ඇති බවට සැකකරන බවත්, එවැනි ප්‍රශ්න පත්‍ර ලබාගත් සිසුන් රැසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති නිසාත් මේ අවස්‌ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දුනහොත් පරීක්‍ෂණවලට බාධාවක්‌ සිදුවීමට ඉඩ ඇති බව රහස්‌ පොලීසිය අධිකරණයට දැන්වීය.

මෙහි සැකකරුවන් වූ ටියුෂන් ගුරුවරයකු වන කැලණිය දිප්පිටියේ අත්තටගේ චන්දන සම්පත්, ඔහුගේ කාර්යාල සහායකයෙකු වන ලක්‍ෂාන් ජයසිංහ, ගම්පහ, නයිවල සැලුන් හලක්‌ පවත්වා ගෙන යන නිරෝෂන් සංජීව, එම ප්‍රදේශයේම උපකාරක පන්තියක්‌ පවත්වා ගෙන යන සිරිවර්ධන ජයසේකර හා විභාග දෙපාර්තමේන්තුවේ ලිතෝ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රියශාන්ත යන පස්‌දෙනා ඊයේ අධිකරණය වෙත රැගෙන යන ලදී.

කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා පියරත්න මෙනෙවිය හමුවේ මෙම පැමිණිල්ල විනිසුරු නිල මැදිරියේදී විභාගයට ගන්නා ලදී.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ රහස්‌ පොලිසියේ සැරයන් විඡේසූරිය මහතා සමග අධිකරණය හමුවේ පෙනී සිටි උප පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් ගමගේ මහතා මෙම ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාළව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතිකරණ අංශය, ප්‍රශ්න පත්‍ර සකස්‌ කරන අංශය, රහස්‍ය අංශය යන අංශවල උසස්‌ නිලධාරීන් සියල්ලන්ගේම පොලිසිය ප්‍රකාශ ලබා ගැනීම අවසන් කර ඇතැයි කීය.

අපොස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රය ස්‌කෑන් කර පිටපත් ලබා ගැනීමට සැකකරුවකු භාවිත කළ පරිගණක හා ස්‌කෑන් යන්ත්‍රවලට අදාළ විශ්ලේෂණ වාර්තාව මෙතෙක්‌ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලැබී නොමැති බවත්, සිසුන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර විමර්ශන කටයුතු අවසන් නොමැති බවත් දන්වා සිටියේය. ප්‍රශ්න පත්‍රවල දැක්‌වෙන රූපසටහන් සැසඳීමකට ලක්‌කර අත්අකුරු පිළිබඳ රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවක්‌ ලබා ගැනීම අවශ්‍ය බවද පොලිසිය කියා සිටියේය.

මෙම විමර්ශන කටයුතු අවසන් වනතුරු සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

මෙම කරුණු සැළකිල්ලට ගත් විනිසුරු ලංකා පියරත්න මෙනවිය ලබන 24 වැනිදා දක්‌වා සියලු සැකකරුවන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all