Photobucket

Friday, January 11, 2013

පළමු එක්දින තරගය අදයි

ඔස්ට්‍රේලියානුවන් වෙතින් ලත් ටෙස්ට් තරගමාලා පරාජයේ නීරස එක්දින තරගමාලාවෙන් ජයග්‍රාහී රසයක් බවට පත්කර ගැනීමේ අරමුණින් යුතුව මහේල ජයවර්ධන ගේ කණ්ඩායම අද ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජෝර්ජ් බේලි ගේ කණ්ඩායම සමග තරග වදී. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ පළමුවැන්න මෙය වෙයි.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්ෂේත්‍රයේ දුර්වල වීමත් එක්දින තරග බිමේ සාර්ථක වීමත් ජගත් ක්‍රිකට් ලොවට අභිරහසකි. එක් පැත්තකින් එයට හේතුව ක්‍රීඩකයන්ගේ තනි තනි හැකියාවන් විය හැක. ලසිත් මාලිංග හා අජන්ත මෙන්ඩිස් ටෙස්ට් ක්‍රීඩා නොකරති. නමුත් එක්දින තරගවලදී ඔවූහු බියකරු පන්දු යවන්නෝ වෙති.

තවත් පැත්තකින් බලන විට එක්දින තරග සඳහා වන ශ්‍රී ලංකාවේ ආකල්පය එම ක්ෂේත්‍රයේ ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වී ඇතුවා විය හැක. ඔස්ට්‍රේලියාව සමග පැවැති ටෙස්ට් තරගමාලාවේදී ඔස්ට්‍රේලියානුවන්ට අභියෝගයක් ගෙන දිය හැකි තරමට ඉවසීමෙන් යුතුව ක්‍රීඩා කිරීමක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් දිස් නොවිණි. එහෙත් සීමිත ඕවර තරගවලදී එවැනි සිතිවිලි රටාවක් තිබීම නරක දෙයක් නොවේ.

විශ්වාසය ද මේ සාර්ථකත්වයට එක් හේතුවකි. මීට පෙර ඔස්ට්‍රේලියාවේදී පැවැති එක්දින තරගමාලාව ජය ගත්තේ ශ්‍රී ලංකාව ය. ඉන්පසුව පැවැති තුන්කොන් තරගාවලියේදී ඔස්ට්‍රේලියාව තෙවැනි අවසාන තරගයක් දක්වා ගෙන යාමට ශ්‍රී ලංකාව සමත් විය. මීට අමතරව, අද තරගය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් වතාවට ක්‍රීඩා කළ එක්දින තරග තුනෙන් ම ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ.

බැලූ බැල්මට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගවලට වඩා එක්දින තරගවල ශක්තිමත් කණ්ඩායමක් බව පෙනේ. ඒ, ලසිත් මාලිංග හා අජන්ත මෙන්ඩිස් නිසා ම නොවේ. තිසර පෙරේරා සීමිත ඕවර තරග බිමේ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂයෙකි. අකිල ධනංජය හැකියාවන් සහිත අභිරහස් දඟ පන්දු යවන්නෙකි. දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්න දැනටමත් සිඩ්නි ටෙස්ට් තරගයේදී ඔවුන්ගේ සටන්කාමී පිතිකරණය ප්‍රදර්ශනය කර තිබේ.

අද සිට ඇරැඹෙන ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරගමාලාවන්හිදී කුමාර් සංගක්කාර නැති අඩුව ශ්‍රී ලංකා කණ්ඩායමට තදින් දැනෙනු ඇත. 

මහේල ජයවර්ධන අද තිලකරත්න ඩිල්ෂාන් සමග ශ්‍රී ලංකා ඉනිමට සවිමත් අත්තිවාරමක් ලබා දෙනු ඇතැයි යන්න මෙල්බර්න් නුවර ජීවත් වෙමින් අද තරගය නැරඹීම සඳහා පොකුරු පිටින් පැමිණෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාව වී තිබේ. මේ ක්‍රීඩාංගණයේදීම පසුගිය නත්තල ට පසු දිනයේ සිට පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජයෙන් පසුව යළි දෙපිල තරග වදින අද දිනයේ එදා ට වඩා සතුටක් අද තමන් ට විඳින්නට අවස්ථාවක් අපේ එක්දින ක්‍රිකට් හපනුන් විසින් ලබා දෙනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මිශ්‍ර එකකි. තවමත් ජාත්‍යන්තර මට්ටමෙන් එක්දින ක්‍රිකට් ක්‍රීඩා කර නැති ක්‍රීඩකයන් සිවු දෙනෙකුම – ෆිලිප් හියුස්, ඒරන් ෆින්ච්, උස්මාන් කවජා, බෙන් කටින්ග් – එම කණ්ඩායමට ඇතුළත්ව සිටිති. එහෙත් මේ ක්‍රීඩකයන් සිවු දෙනාම ඔස්ට්‍රේලියා ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාන හිමි විය යුතු දක්ෂයෝ වෙති.

35 වැනි වියෙහි පසුවන බ්‍රැඩ් හැඩින් වසරකට පමණ පසුව ඔහුගේ පළමු ජාත්‍යන්තර එක්දින තරගයට අද සහභාගි වෙයි. අද තරගයේදී ඔස්ට්‍රේලියාවට නායකත්වය දෙන්නේ ඔවුන්ගේ විස්සයි20 නායකයා වන ජෝර්ජ් බේලි ය. කණ්ඩායමේ පළපුරුද්දේ අඩුව පැහැදිලිව පෙනේ. මයිකල් ක්ලාක් (තරග 221), ෂේන් වොට්සන් (තරග 154), මයිකල් හසී (තරග 185) හා මොවුන්ට වඩා අඩු පළපුරුද්දක් ඇති එහෙත් හොඳ දක්ෂතාවක් තිබෙන ඩේවිඩ් වෝනර් හා මැතිව් වේඩ් යන ක්‍රීඩකයන් අද තරගයට නැත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all