සිඩ්නි ටෙස්ට් තරගය වෙනුවෙන් හදිසියේම ඔස්ට්‍රේලියාව ට කැඳවනු ලැබූ ලහිරු
තිරිමාන්න ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා දිවියේ වැඩිම ලකුණු වාර්තා කරමින්
ක්‍රීඩා කළ අගනා පිතිහරඹය මත ඔස්ට්‍රේලියානුවන්ට අනපේක්ෂිත සටනක් ලබා
දුන් ශ්‍රී ලංකාව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වූ තෙවැනි හා අවසාන
ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ලකුණු 294ක් වාර්තා කළේය.
ඔස්ට්‍රේලියානු වේග පන්දු ප්‍රහාරයට එරෙහිව පන්දු 151කට සාර්ථකව මුහුණ දුන්
තිරිමාන්න මිනිත්තු 219ක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 91ක් රැස් කිරීමට සමත් විය.
මීට පෙර තිරිමාන්න ගේ වැඩිම ටෙස්ට් පෞද්ගලික ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන්ව තිබුණේ
ලකුණු 68කි. අංක 4 පිතිකරු ලෙසින් ඊයේ පිටියට පිවිස මුහුණ දුන් පළමු පන්දුවෙන්ම
දැවී ගිය බවට තීරණය වී ‘රෙෆරල්’ ක්රමයේ ආධාරයෙන් නැවත පිතිහරඹයේ නියැලුනු
තිරිමාන්න හතරේ පහර 13ක් හා හයේ පහරක් එල්ල කරමින් ඔස්ට්‍රේලියානුවන් මවිතයට පත්
කළේය. ප්‍රබල වේග පන්දු යවන්නන් සිවු දෙනෙකුගෙන් සන්නද්ධව සිටි ඔස්ට්‍රේලියාව තරගයේ
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුව පන්දු යැවීමට තීරණය කළේ මෙල්බර්න් තරගයේදී
මෙන් ශ්‍රී ලංකාව අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගැනීමේ අරමුණිනි.
එහෙත්, මුළු ලකුණු 26දී පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන්, මහේල
ජයවර්ධන හා තිරිමාන්න ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.
ජයවර්ධන ලකුණු 72ක්ද, ඩිල්ෂාන් ලකුණු 34ක්ද ලබා ගත්හ.
ඊයේ ආරම්භක තරගයේ උදය වරුවේදී ශ්‍රී ලංකා කඩුලු 2ක් ලකුණු 80කට බිඳ වැටුනු අතර
දහවල් වරුවේදී තවත් කඩුලු 2ක් ලකුණු 89කට අහිමි විය. සවස් වරුවේ තරගයේදී ශ්‍රී
ලංකා කඩුලු 6ක් ලකුණු 125කට බිඳ වැටිණි.
මිය ගිය ජාත්‍යන්තර රූපවාහිනි ක්‍රිකට් විචාරක හා හිටපු එංගලන්ත නායක ටෝනි
ග්‍රෙග් සිහිකරමින් දෙපිලේම ක්‍රීඩකයෝ කළු අත්පටි පැළඳ ක්‍රීඩා කළහ.
ශ්‍රී ලංකාව මේ තරගය සඳහා වෙනස්කම් හතරක් සිදුකොට තිබිණි. කුමාර් සංගක්කාර හා
ප්‍රසන්න ජයවර්ධන වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුලත්ව සිටි අතර චානක
වෙලගෙදර හා ශමින්ද එරංග වෙනුවට සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් ක්‍රීඩා කළහ.
කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර මුළු
ලකුණු 26 දී සිඩ්නි ටෙස්ට් තරගයේ පළමු කඩුල්ල බිඳ වැටිණි. දැවී ගිය පිතිකරුවා
වූයේ දිමුත් කරුණාරත්න ය. ජැක්සන් බර්ඩ් යැවූ තරගයේ 8 වැනි ඕවරයේ පස්වැනි
පන්දුවට වමත් පිතිකරුවා ‘ඩීප් ස්කුවෙයාර් ලෙග්’ ස්ථානයෙන් හතරේ පහරක් එල්ල
කිරීමට උත්සාහ කළද ඔහු ඉක්මන් වූවා වැඩිය. පිත්තේ ඉහළ කොනේ වැදුනු පන්දුව ‘ස්ලිප්’
ක්‍රීඩකයන්ට උඩින් ඉහළට ගියේය. මයිකල් හසී දුව ගොස් පන්දුව අල්ලා ගත්තේය.
මිනිත්තු 33ක් ඇතුළත පන්දු 23කට මුහුණ දුන් කරුණාරත්න ට ලබා ගත හැකිවූයේ ලකුණු
5ක් පමණි.
කරුණාරත්න දැවී ගොස් ඕවර දෙකකට පසුව දෙවැනි කඩුල්ල අහිමි නොවීමට තරම් ශ්‍රී
ලංකාව වාසනාවන්ත විය. දැවී යාමෙන් බේරුණේ නායක මහේල ජයවර්ධන ය. ඒ වන විට ඔහු
රැස්කර ගෙන සිටියේ ලකුණු හතරක් පමණක් වූ අතර ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ මුළු
ලකුණු 32ක් පමණි. පීටර් සිඩ්ල් ගේ වේග පන්දුව මහේල ගේ පිත්තේ අග වැදී පළමු හා
දෙවැනි ‘ස්ලිප්’ ක්‍රීඩකයන් අතරින් හතරේ සීමාවට ඇදී ගියේය. එම උඩ පන්දුව අල්ලා
ගැනීමට දෙවැනි ‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි හසී උත්සාහ කළද එය අසාර්ථක විය.
අවසානයේ දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ තිලකරත්න ඩිල්ෂාන් ය. ඔහු සහ මහේල ඕවර
13.5කදී ලකුණු 46ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කරමින් සිටියදී ඩිල්ෂාන් කඩුල්ල
පිටුපසට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 34කට දැවී ගියේය. ඒ කඩුල්ල ලබා ගත්තේද
බර්ඩ් ය. මිනිත්තු සියයක් කඩුල්ලේ රැඳී සිටි ඩිල්ෂාන් පන්දු 61කට මුහුණ දුන්නේය.
හතරේ පහර 5ක් එල්ල කළේය.
ඊළඟට පිටියට පිවිසි ලහිරු තිරිමාන්න ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම (බර්ඩ් ගේ)
කඩුල්ල මුවා කළ බව පිටියේ තරග විනිසුරු අලීම් ඩාර් ගේ තීරණය විය. තිරිමාන්න එම
තීරණයට අභියෝග කරමින් එය යළි නිරීක්ෂණය පිණිස තෙවැනි විනිසුරු වෙත යොමු කරන
ලෙසට ඉල්ලා සිටි අතර තෙවැනි විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීන්දු කළේය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 80ක් රැස්කර
ගෙන සිටියේය.
මහේල හා තිරිමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 20.3කදී ලකුණු 62ක සබඳතාවක්
ගොඩනැගූහ. මහේල ලකුණු 72ක් ලබා ගෙන මිචල් ස්ටාක් ගේ පන්දුවකට පළමු ‘ස්ලිප්’හි
මයිකල් ක්ලාක් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. එය නීතිවිරෝධී (නෝ බෝල්)
පන්දුවක්දැයි නිරීක්ෂණය කරද්දී ස්ටාක් ගේ විලුඹ සීමාවෙන් එළියට ඇදී යාමට පෙර
එය සීමා ඉර මත තිබෙනු දර්ශනය විණි. ඒ අනුව තරගයේ 43 වැනි ඕවරයේ මුළු ලකුණු 134දී
ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල බිඳ වැටිණි. මිනිත්තු 154ක් හා පන්දු 110ක මහේල ගේ අගනා
ඉනිමට හතරේ පහර 12ක් හා හයේ පහරක් ඇතුළත්ව තිබිණි.
සවස තේ පානයට පෙර ශ්‍රී ලංකා පිලේ තවත් කඩුල්ලක් බිඳ වැටිණි. එවර දැවී ගියේ
තිලාන් සමරවීර ය. පීටර් සිඩ්ල් ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට
සමරවීර ලබා ගෙන සිටියේ ලකුණු 12ක් පමණි. ඒ පන්දු 27කිනි. මේ මැද පෙල පිතිකරුවා
කඩුල්ලේ රැඳී සිටියේ මිනිත්තු 39ක් පමණි. 51 වැනි ඕවරයේ සිවුවැනි කඩුල්ල බිඳ
වැටෙන විට මුළු ලකුණු සංඛ්‍යාව 167ක් විය.
තිිරිමාන්න හා සමරවීර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 8.5ක් ඇතුළත ලකුණු 33ක්
එක් කළහ. සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු
169ක් රැස්කර ගෙන සිටියේය.
උප නායක ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 15ක් පමණි. එයින් ලකුණු 12ක් හතරේ
පහරවලිනි. පැයක් කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 48කට මුහුණ ස්ටාක් ගේ පන්දුවට
දෙවැනි ‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි හසී වෙත උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 222
දී දැවී ගියේය. මෙය, සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින මයිකල් හසී
ඊයේ රැක ගත් දෙවැනි උඩ පන්දුව විය. මැතිව්ස් හා තිරිමාන්න පස්වැනි කඩුල්ල
වෙනුවෙන් ඕවර 15යි පන්දු 2කදී ලකුණු 55ක සබඳතාවක් ගොඩනැගූහ.
තිරිමාන්න හා ධම්මික ප්‍රසාද් දැවී ගියේ විශිෂ්ට උඩ පන්දු රැකගැනීම්වලිනි. මේ
පිතිකරුවන් දෙදෙනාම දැවී ගියේ දුර්වල පහර එල්ල කිරීමට යාමෙනි. අංක 4 පිතිකරු
ලෙසින් ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න ඔහුගේ මංගල ටෙස්ට් ශතකය පෙනි පෙනී තිබියදී දඟ
පන්දු යවන නේදන් ලයන් ගේ පන්දුවකට දුන් උඩ පන්දුව ඩේවිඩ් වෝනර් ‘කවර්’ ස්ථානයේ
සිට දිව යමින් ඉතාමත් දර්ශනීය අයුරින් අල්ලා ගත්තේය. ඒ තරගයේ 74 වැනි
ඕවරයේදීය. ඊළඟ ඕවරයේදී ධම්මික ප්‍රසාද් (2), සිඩ්ල් ගේ පන්දුවට දුන් උඩ
පන්දුව තණතිල්ලේ ස්පර්ශ වීමට මොහොතක් තිබියදී ස්ටාක් අල්ලා ගත්තේය. මේ අනුව
ශ්‍රී ලංකා 6 වැනි (තිරිමාන්න) හා 7 වැනි (ප්‍රසාද්) කඩුලු පිළිවෙලින් මුළු
ලකුණු 250 හා 256 දී බිඳ වැටිණි.
මුළු ලකුණු 271 දී අංක 7 පිතිකරු දිනේෂ් චන්දිමාල් දැවී ගියේය. ඕවර 80ක් අවසන්
වූ වහාම ඔස්ට්‍රේලියානුවෝ දෙවැනි නව පන්දුව ලබා ගත් අතර චන්දිමාල් දැවී ගියේ එම
නව පන්දුව ලබා ගැනීමෙන් පසුව එවනු ලැබූ පළමු පන්දුව කෙළින් ම කඩුල්ලේ ගැටීමෙනි.
දෙවැනි නව පන්දුව බාර ගත්තේ මිචෙල් ස්ටාක් ය. ඔහුගේ ‘යෝකර්’ පන්දුවට ඉක්මනින් සිය
පිත්ත පහළට ගෙන ඒමට චන්දිමාල් අසමත් විය. මිනිත්තු 58යි පන්දු 44ක ඔහුගේ ඉනිමට
හතරේ පහර 5ක් ඇතුළත්ව තිබූ අතර චන්දිමාල් ලකුණු 24ක් ලබා ගත්තේය.
දෙවැනි නව පන්දුවේ දෙවැනි ඕවරයේදී රංගන හේරත් (5) එල්ල කළ පහරින් ඉතා ඉහළ නැගි
පන්දුව ‘මිඩ් ඕෆ්’හිදී සිඩ්ල් රැක ගැනීමෙන් ශ්‍රී ලංකා 9 වැනි කඩුල්ල මුළු ලකුණු
273දී බිඳ වැටිණි. එය ජැක්සන් බර්ඩ් ඊයේ ලබා ගත් තෙවැනි කඩුල්ල විය.
තිරිමාන්න මෙන්ම හදිසියේ මෙහි කැඳවනු ලැබූ සුරංග ලක්මාල් හා අනෙක් වේග පන්දු
යවන්නා වන නුවන් ප්‍රදීප් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 21ක් රැස් කළහ. තරගයේ 88
වැනි ඕවරයේ බර්ඩ් ගේ සිවුවැනි පන්දුවට දෙවැනි ‘ස්ලිප්’හි හසී වෙත උඩ ලබා දීමෙන්
ලක්මාල් (5) දැවී යාමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිමත් ආරම්භක දින තරගයත් අවසන්
විය. නුවන් ප්‍රදීප් නොදැවී ලකුණු 17ක් ලබා ගත්තේය.
මයිකල් හසී ඊයේ උඩ පන්දු තුනක් රැක ගත්තේය. බර්ඩ් ලකුණු 41කට කඩුලු 4ක් ලබා
ගත්තේය. අනෙක් වේග පන්දු යවන්නන් වන ස්ටාක් ලකුණු 71කට කඩුලු 3ක්ද, සිඩ්ල් ලකුණු
46කට කඩුලු 2ක්ද ලබා ගත්හ.26,197 දෙනෙකු ඊයේ තරගය නැරඹූහ.
0 comments:
Post a Comment