Photobucket

Tuesday, January 1, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩනැඟීමට නව වසරේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ ජයග්‍රාහී දැක්මකින් සමන්විත මානසිකත්වයක් ගොඩනැගීමේ විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ක්‍රිඩා වෛද්‍ය ආයතනය නව වසරේ දී සූදානම් වේ.

මේ දිනවල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ ඔස්ට්‍රේලියා තරග සංචාරයෙන් අනතුරුව මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා වෛද්‍ය ආයතන ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. එම විශේෂ වැඩසටහන තුළින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉදිරි ක්‍රිකට් තරග ප්‍රතිඵලවල පැහැදිළි වෙනසක් ඇතිවනු ඇතැයි විශ්වාස කෙරේ. දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ පීඩනයට පත්වන ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩනැගීම අත්‍යාවශ්‍ය බවත්, එවැනි වැඩසටහන් බොහෝ රටවල ක්‍රියාත්මක වන බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

මේ දිනවල ක්‍රීඩා වෛද්‍ය ආයතනය මගින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකුගේ මානසිකත්වය ගොඩනැගීමේ විශේෂ වැඩසටහන් දියත් කර එහි ප්‍රතිඵල පෙන්වා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

ක්‍රීඩාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමුදු වීරසිංහ මහත්මියගේ සේවය මේ වෙනුවෙන්ම ලබාගෙන තිබේ, ඇයගේ විශේෂ වැඩසටහනකින් නැවත ජයග්‍රහණ අතරට පැමිණීමට උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාරට හැකියාව ලැබී ඇත. මීටර් 2.27ක දක්ෂතාවකින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ මංජුල කුමාර පසුව සහභාගි වූ තරගාවලි කීපයකදීම එම දක්ෂතාව දැක්වීමට අපොහොසත් විය. පසුව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පැවැති මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ වැඩසටහනකින් අනතුරුව ඔහු නැවත ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනගා‍ ගෙන ඇතැයි පැවැසේ. එම විශේෂ වැඩසටහනින් අනතුරුව පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මංජුල ‍කුමාර මීටර් 2.21ක දක්ෂතාවක් පෙන්වා හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා නැවත ස්ථාවර තත්ත්වයකට පැමිණ තිබේ.

මේ ආකාරයෙන් ජයග්‍රහණ අතරට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ඇතැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට මානසික වැඩසටහනක් සකස් කිරීමට අමතරව කණ්ඩායම් සංයුතිය රැක ගැනීමේ යෝජනා කීපයක් ද ක්‍රීඩා ඇමැතිවරයාට ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ. ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙකක්, විස්සයි20 කණ්ඩායමක් වෙන වෙනම ‍පවත්වාගෙන යෑමේ යෝජනාවක් නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමේ සූදානමක් ඇතැයි ද වාර්තාවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all