Photobucket

Tuesday, January 1, 2013

පස් අවුරුදු ජාතික සෞඛ්‍ය සැලසුම අද සිට ක්‍රියාත්මකයි

පස් අවුරුදු ජාතික සෞඛ්‍ය සැලැස්ම අද (01) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසර 2013 සිට 2017 දක්වා කාලය ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය අරමුණු කර ගනිමින් මෙරට ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන පස් අවුරුදු ජාතික සෞඛ්‍ය සැලැස්ම සකස් කිරීමට වසර දෙකක් ගත වූ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අඳාළ විද්වතුන් හා වෙනත් ක්ෂේත්‍රවලට අඳාළ ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විද්වතුන් ද පළාත් සෞඛ්‍ය බලධාරින්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන ජාතික සෞඛ්‍ය සැලැස්ම සකස් කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ 24 ක් ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

වාර්ෂිකව එක් එක් ක්ෂේත්‍ර‍වලදී ළඟා කර ගත යුතු ඉලක්කයන් සහ ඒ සඳහා වැය වන මූල්‍ය ප්‍රතිපාදන ලබා ගත හැකි උපාය මාර්ග ද මේ ජාතික සෞඛ්‍ය සැලැස්මට ඇතුළත්ව ඇත.

එක් වසරක් සඳහා ජාතික සෞඛ්‍ය සැලැස්මක් මින් පෙර ඉදිරිපත් කර තිබුණ ද එක් අවුරුදු සැලැස්මක් යටතේ පුළුල් ඉලක්ක වෙත ළඟා විය නොහැකි බව ඇමැතිවරයා පවසයි.

ආසියාවේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග ඉහළ යාම සිදුව තිබේ. හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා, ස්වසන රෝග, ආඝාතය, අධික රුධිර පීඩනය යනාදි බෝ නොවන රෝග නිසා දිනපතා මෙරට 650 දෙනකු මරණයට පත්වේ. පස් අවුරුදු ජාතික සැලැස්ම යටතේ 2013 වසර බෝ නොවන රෝග වැළැක්වීමේ වසර ලෙස නම් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ යටතේ බෝ නොවන රෝග බහුතරයකට හේතු වන දුම්කොළ හා මද්‍යසාර භාවිතය අවම කිරීමේ අරමුණෙන් වැඩි ප්‍රමුඛතාවක් දුම්කොළ හා මද්‍යසාර භාවිතය අවම කිරීම කෙරෙහි ලබාදීමට කටයුතු යොදා ඇත. මේ වසරේ මාර්තු මාසයේ සිට දුම්වැටි දවටනවල සියයට අසූවක් ආවරණය වන පරිදි මුඛ පිළිකා රූප සටහන් ඇතුළත් කිරීමේ නීතිය ඇතුළු නීති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all