Photobucket

Tuesday, January 1, 2013

බියගම විලේඡ් හිමිකරුගේ ඉඩමෙන් බෝම්බ හා ආයුධ තොගයක්‌ ගොඩ ගනී

බියගම විලේඡ් හෝටලයේ හිමිකරු වූ ඊබට්‌ බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කර තිබූ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඉඩමේ වළදමා තිබූ ක්‌ලෙමෝ බෝම්බ ඇතුළු ආයුධ තොගයක්‌ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් සොයා ගෙන ඇත. මෙම ඉඩමේ පිහිටි නිවසක්‌ පිටුපස ඉතාම සුරක්‌ෂිතව වළ දමා තිබූ ආයුධ අතර කිලෝ ග්‍රෑම් දෙකක බරින් යුත් ක්‌ලෙමෝ බෝම්බයක්‌ ග්‍රෙනේඩ් බෝම්බ දෙකක්‌ මන්නාපිහි කීපයක්‌ තිබූ බව පොලිසිය පවසයි. මෙහිදී සොයාගත් ග්‍රේනේඩ් බෝම්බ දෙකෙන් එකක්‌ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරිහරණය කරනු ලැබූ එකක්‌ බවට හඳුනාගෙන ඇත.

මෙම අවි ආයුධත් සමග ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ තරුණයාද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ආයුධ කව්රුන් විසින් වළ දැමූවේද යන්න මෙතෙක්‌ හෙළිවී නොමැත.

බියගම විලේඡ් හෝටලයේ හිමිකරු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී වළ දමා තිබූ ආයුධ සොයා ගැනීමට හැකිවිය.

පරීක්‌ෂණවලින් හෙළිවී ඇත්තේ මෙම ආයුධ මෑතකදී වළ දැමූ ඒවා නොවන බවයි.

ඉකුත් වසරේ පෙබරවාරි මස 20 වැනිදා උදෑසන ජයරත්න මහතා දොම්පේ පහළ දොම්පේ ප්‍රදේශය් පිහිටි සිය ඉඩමට ගිය අවස්‌ථාවේ එහි කඩා වැදුණු සාහසිකයකු ඒ මහතාට තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කර තිබිණි.

එම ඝාතනය සිදුවී මාස දහයක කාලයක්‌ ගතවී ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැත.

කොළඹ අපරාධ කොට්‌ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all