Photobucket

Thursday, January 3, 2013

ඖෂධ හා විටමින්වලට පාලන මිල අනිවාර්යයි

ඖෂධ අලෙවිය හරහා අහිංසක රෝගියා ගසා කෑමේ ජාවාරමට සම්පුර්ණයෙන්ම නැවතීමේ සලකුණ යොදමින් ඖෂධ සහ විටමින් වර්ග සඳහා පාලන මිල අනිවාර්ය කර තිබේ.

ඒ සඳහා වූ ගැසට් පත්‍රයද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. මේ‍ තීරණයේ පළමු අදියර වශයෙන් ඖෂධ වල මිල ලකුණු කිරීම අනිවාර්යය කිරීමේ නීතිය පෙරේදා (01) සිට ක්‍රියාත්මක වෙන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

බෙ‍හෙත් ද්‍රව්‍ය වලට පාලන මිල අනිවාර්යය කිරීම ඉදිරි මාස දෙක ඇතුළතදී ක්‍රියාත්මක වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.

2012 දෙසැම්බර් 05 වැනිදා ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රයේ 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 (1) අ වගන්තිය මඟින් පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියලුම ඖෂධ හා විටමින් වර්ග නිෂ්පාදනය කරන්නන් හා ආනයනකරුවන් විසින් එම නීති රීති අනුගමනය කළ යුතු වෙයි. උපරිම සිල්ලර මිල සලකුණු කිරීම, භාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වී‍මේ දිනය, ප්‍රබලතාව නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම සහ ලිපිනය විශේෂිතව දැක්වීම අනිවාර්ය වෙයි.

ඖෂධ සඳහා පාලන මිල ගෙන ඒම අනිවාර්ය කිරීමේ අරමුණ වෙන්නේ මෙතෙක් කාලයක් ඖෂධ අලෙවිකරුවන් (ෆාමසි) විසින් බෙහෙත් ද්‍රව්‍ය හිතූ මිල ගණන්වලට අලෙවි කිරීම සහ ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් විසින් ආනයන සහ නිෂ්පාදන මිලට වඩා සියයට සියයේ සිට සියයට අටසියයක් දක්වා වූ අධික ලාබයක් ඉපයීමයි.

මොවුන්ගේ එම ජාවාරම නිසා රෝගීන් ඖෂධ මිලදී ගැනීමේදී බරපතළ ගැටලුවලට පත්වන අවස්ථා බොහෝය .

මේ තීරණය ගෙන ඒමට පෙර වෙළෙඳ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිභෝගික අධිකාරිය, ඖෂධ ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණි. මේ වන විට වෙළෙඳ නාම (Brand) හත්දහසක් යටතේ ඖෂධ වර්ග අලෙවි කරන බව පාරිභෝගික අධිකාරි මඟින් සොයාගෙන තිබේ. මිල ලකුණු කිරීම සෑම ඖෂධ වර්ගයක් සඳහාම අනිවාර්්‍යය වෙයි. පාලන මිලෙන් තෝරාගත් ඖෂධ වර්ග ගණනාවක් නිදහස් වෙයි. එම ඖෂධ වර්ග මොනවාද යන්න ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

මේ නීති ක්‍රියාත්මක වෙන්නේ 2013 ජනවාරි 1 වැනිදා සිට වෙළෙඳ පොළට අලුතින් සැපයෙන ඖෂධ වර්ග සඳහා පමණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all