Photobucket

Tuesday, January 8, 2013

නෙට්බෝල් ලේකම් තනතුරට තුන්කොන් සටනක් ඇවිලේ

උප සභාපති තනතුරු පහට දොළහක් තරග බිමේ

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ ලේකම් තනතුරට තුන් කොන් සටනක් නිර්මාණය වී ඇත. වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමයෙන් හිටපු ශ්‍රී ලංකා නායිකා ජයන්ති සෝමසේකරන්, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයෙන් ශිරෝමී කුරුප්පු හා බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමයෙන් ශ්‍යාමා කුරේ යන මහත්මීන් ලේකම් තනතුරට නාමයෝජනා ලබා දී ඇත.

මේ හේතුවෙන් ජනවාරි 24වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණයේ දී මේ තිදෙනාගෙන් එක් ‍අයෙකු ඡන්ද විමසීමකින් තෝරාගැනීමට නියමිතය. 

මේ තිදෙනාගෙන් දෙදෙනකු සභාපති තනතුරට තරග වදින පාර්ශව දෙක නියෝජනය කරමින් ඉදිරිපත්ව ඇති අතර අයෙකු ස්වාධිනව ලේකම් තනතුරට නාමයෝජනා ලබාදීමෙන් ජන්ද සටන උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති තනතුර‍ට හිටපු සභාපතිනියක් හා හිටපු ශ්‍රී ලංකා නායිකාවක් වන ට්‍රික්සි නානායක්කාර මහත්මිය ද බැංකු නිලධාරියක හා ජාතික සංචිතයේ හිටපු ක්‍රීඩිකාවක් වන ලක්ෂ්මි වික්ටෝරියා යන මහත්මීහූ නාමයෝජනා භාර දුන්හ.

භාණ්ඩාගාරික තනතුර සඳහා බදුල්ල දිස්ත්‍රික් සංගමයේ මේනකා නිශාන්ති හා කොළඹ දිස්ත්‍රික් සංගමයේ දිලිනි පිටිගලආරච්චි යන මහත්මීහූ තරග වදිති. සම්බන්ධිකරන නිලධාරී තනතුරට ජනප්‍රිය නිලි සනෝජා බිබිලේ මහත්මිය හා නෙට්බෝල් පරිපාලනයේ හිටපු නිලධාරිනියක වූ ඔලිවියා ගමගේ යන මහත්මීන් නාමයෝජනා භාර දී ඇත.

නෙට්බෝල් අතුරු කමිටු සභාපතිනි තමාරා ධර්මකීර්ති, යසා රාමචන්ද්‍ර හා චන්ද්‍රනී ජයවර්ධන යන මහත්මීන් මෙවර නිලවරණයට ඉදිරිපත්ව නැත.

වැඩිම නාමයෝජනා ගණනක් උප සභාපති තනතුරු 5ක් සඳහා ලැබීම ද‍ මෙවර විශේෂත්වයකි. නෙට්බෝල් නිලවරණයක දී උප සභාපති තනතුරු වෙනුවෙන් වැඩිම නාමයෝජනා ගණනක් සටහන් කරමින් දොළොස් දෙනෙකු තරගයට ඉදිරිපත්ව සිටී. එම ඡන්ද සටනේ දී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කීපදෙනෙක් හා හිටපු නිලධාරිනියක් ද වෙති.

උප ලේකම්, නි‍යෝජ්‍ය තරග ලේකම්, නියෝජ්‍ය සභාපති, උප භාණ්ඩාගාරික තනතුරු සඳහා ද නාමයෝජනා කීපයක් ඉදිරිපත්වීමෙන් ඡන්ද සටන උණුසුම් වනු ඇතැයි විශ්වාස කෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all