Photobucket

Thursday, January 10, 2013

දියණිය මැරූ පියා ගෙල වැලලාගෙන නසී

පිළියන්දල මොරෑඳ ප්‍රදේශයේ දී අවුරුදු එකහමාරක්‌ වයසැති දැරියක ඝාතනය කළ බවට සැක කරන ඇගේ පියා කහතුඩුව පාලගම ප්‍රදේශයේ නිවසකදී ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

මෙම සැකකාර පියා විදේශ ගතවී සිටින වැඩිමහල් සොයුරියගේ නිවසේදී මෙසේ ගෙල වැළලාගෙන සිටියදී (05 දා) උදේ සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ පිළියන්දල මොරෑඳ පදිංචිව සිටි මද්දුම කලුගේ සුනිල් ජයකොඩි නමැති 34 වියෑති පුද්ගලයෙකි. දිවි නසාගත් පුද්ගලයාට පළමු විවාහයෙන් දරුවන් තිදෙනකු ඇත. ඔහු එසේ සිටියදී තරුණියක හා හාදවී ඇය දූෂණය කර ඇතැයිද පරීක්‌ෂණ සිදුකළ පිළියන්දල පොලිසිය කියයි. ඔහු ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ සිට ඇත.

දූෂණයට ලක්‌වූ තරුණිය දියණියක ප්‍රසූත කර තිබේ. ඇගේ නම මද්දුමගේ මෙල්කි ශලෝමි අබේස්‌කා. ඇප මත නිදහස්‌ව පැමිණි සැකකාර පියා මෙල්කි ශලුනි දැරියට අවස්‌ථා කිහිපයකදීම පහරදී ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

මේ අතරතුර පළමු විවාහයේ බිරිඳ දරුවන් තිදෙනා සැකකාර පියාට බාරදී ගොස්‌ ඇත. දූෂණයට ලක්‌වූ කාන්තාව ඝාතනයට ලක්‌වූ මෙල්කි ශලුනි දැරිය හා පළමු විවාහයේ දරුවන් තිදෙනා සමග වාසය කර තිබේ.

පළමු විවාහයේ දරුවන් තිදෙනාට සැකකාර පියා කිසිදු වෙනස්‌කමක්‌ කර නැති බවත් දෙවැනි බිරිඳගේ දරුවා වන මෙල්කි ශලුනි දැරියට නිතර නිතර වෙනස්‌කම් කර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය වී ඇති ඉකුත් 04 වැනිදා මෙල්කි ශලුනි දැරියට සැකකාර පියා පළමු විවාහයේ දරුවන් තිදෙනා ඉදිරියේම අතින් පයින් පහරදී තිබේ.

පියාගේ දරුණු පහරකෑමට ලක්‌වු දැරිය මව හා අනෙක්‌ දරුවන් විසින් පිළියන්දල රෝහලට රැගෙන ගියද දැරිය ඒ වන විටත් මියගොස්‌ ඇතැයි රෝහල් වෛද්‍යවරුන් විසින් මවට ප්‍රකාශ කර ඇත.

මෙම අපරාධයෙන් පසු සැකකාර පියා පළාගොස්‌ සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර තිබූ මොහොතක ඔහු මෙසේ දිවි නසාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‌ෂණය යටතේ පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සෝමරත්න විජයමුණි මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක නන්දසිරි ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් නීල්, පොලිස්‌ කොස්‌තාපල් ලක්‌මාල්, පොලිස්‌ කොස්‌තාපල් රියදුරු උපුල්, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් ශිරෝමි ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති. දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පනීත සෙනෙවිරත්න මහතා විසින් පැවැත්වීය. දැරියගේ මරණයට හේතුවී ඇත්තේ තදබල ලෙස බඩට පහරදීම නිසා බඩවැල් පිපිරී යැම සහ බඩවැල්වලට රුධිරය සපයන නහර තැලී යැම නිසා වූ මරණයක්‌ බව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන්වේ.

දැරියගේ මුහුණේ, හිසේ, තැලීම් තුවාල හා දකුණු අතේ ඉහළ බාහුවල හා වම් අතේ යටි බාහුවල අස්‌ථි බිඳී ඇති බවද පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ දැක්‌වේ.

මේ අතර මෙම දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකාර පියාගේ මෘත දේහය භාර ගැනීමට ඊයේ (06 වැනිදා) එම ඥතීහු කිසිවෙක්‌ ඉදිරිපත් නොවීය. දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට පැමිණ සිටි ඥතීහු පිරිසක්‌ කියා සිටියේ මොහුට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පලිසන් දී ඇති බවය. මෙවන් තිරිසන් ක්‍රියාවක්‌ මෙන්ම පොලොව නුහුලන අපරාධයක්‌ සිදු කළ මොහුට මීට වඩා විඳවා දඬුවම් ලැබුණේ නම් තවත් සතුටු වන බව ඔවුහු කියා සිටියහ.

දැරියගේ දේහය (06 දා) කළුබෝවිල මල් ශාලාවක තැන්පත් කර තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all