Photobucket

Wednesday, January 9, 2013

ජාතික පැරා ක්‍රීඩා වසර 5කට පසුව යළිත්

ආබාධිතවූවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නැංවීමේ අරමුණින් යුතුව ‍ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කරන ජාතික පැරා ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 21වැනිදා සිට 23වැනි දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය පවත්වනු ලබන්නේ වසර 6කට පසුව වීම විශේෂ සිදුවීමකි. එවකට රටේ තිබූ අයහපත් වාතාවරණයත්, එවැනි පසුබිමකදී අනුග්‍රාහකයන් සොයාගැනීමට ඇති දුෂ්කරතාවත් හේතුවෙන් 2006 වසරෙන් පසුව මේ ක්‍රීඩා උළෙල නොපැවැත්විණි.

එහෙත් පසුගිය කාල පරිච්ඡේදයේ දී අන්තර් ජාතික ආබාධිතවූවන්ගේ ක්‍රීඩා තරග සඳහා සහභාගිවීමට මෙරට ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව උදාවූ අතර එහි ස්වර්ණමය සංධිස්ථානය සටහන් කරමින් පසුගිය ලන්ඩන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 තරග ඉසව්වේ (ටී.46) ලෝකඩ පදක්කම දිනාගැනිමට යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ ප්‍රදීප් සංජය සමත්විය.

මෙවර ජාතික පැරා ක්‍රීඩා උළෙලට ත්‍රිවිධ හමුදාවෙන් ද විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ද ආබාධිත ක්‍රීඩක ක්‍රීඩකයන් 1200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වෙති. ඊට පුණරුත්තාපනය වූ ද්‍රවිඩ තරුණ තරුණියන් ද ඇතුලත් වෙති. මෙවර ක්‍රීඩා උළෙලට තරග ඉසව් 15ක් ඇතුලත් වන අතර එහි බැඩ්මින්ටන් සහ සිටගෙන ක්‍රීඩා කිරීමේ වොලිබෝල් කණ්ඩායම් තරග ඉසව් මේ වනවිටත් නිමාවට පත්වී තිබේ. 

ක්‍රීඩා උළෙලට ඇතුලත් දෘශ්‍යාබාධිත ක්‍රිකට්, පාපැදි, රෝද පුටු මැරතන්, වෙරළ ‍වොලිබෝල්, රෝද පුටු ටෙනිස්, පිහිනුම්, වායු රයිෆල් වෙඩි තැබීම, සවි එසැවීම, මේස පන්දු, දුනු විදීම, රෝද පුටු බාස්කට්බෝල් සහ වාඩි වී ක්‍රීඩා කිරීමේ වොලිබෝල් තරග ඉසව් ඉදිරි‍යේ දී පැවැත්වීමට නියමිතය. අනතුරුව පෙබරවාරි මස 21වැනිදා පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් ආරම්භ කෙරේ. 

ජාතික පැරා ක්‍රීඩා උළෙ‍ල මේ වසරේ ජූලි මාසයේ ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියට ජාතික සංචිතය තෝරා ගැනීමේ තරගාවලියක් ලෙසත්, මේ වසරේ නොවැම්බර් මාසයේ මැලේසියාවේ පැවැත්වීමට නියමිත ආබාධිතවූවන්ගේ ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංචිතය තෝරාගැනීමේ තරගාවලියක් ලෙසත් අතිශය වැදගත් බව ‍ජාතික පැරා ක්‍රීඩා උළෙල සම්බන්ධව ඊයේ (8) කොල්ලුපිටිය‍ තරුණ ක්‍රිස්තියානි කාන්තා සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රජීව වික්‍රමසිංහ මහතා පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all