Photobucket

Sunday, December 16, 2012

ඉන්ටර්නැෂනල් කියා ලියන්නටවත් නොදත් අය අරඹන ජාත්‍යන්තර පෙර පාසල්

මේ දිනවල අලුතෙන් ආරම්භ කරන ජාත්‍යන්තර පෙර පාසල් පිළිබඳ බොහෝ ස්ථානවල ප්‍රචාරක පුවරු, බැනර් ආදිය සවිකර තිබේ. එසේම දැන්වීම් අත්පත්‍රිකා මගින්ද ජනතාව දැනුවත් කරනු දැකගත හැකිය. මෙහිදී බොහෝ දෙමාපියන්, විශේෂයෙන්ම අම්මාවරුන් තම දරු සිඟිත්තා මේ කියන ජාත්‍යන්තර ළදරු පාසලකට ඇතුළු කරවීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බව පෙනේ. 

ඇතැම් විට ජාත්‍යන්තර පෙර පාසලක් තබා කුකුළු කොටුවක් හෝ පවත්වාගෙන යාමට නුසුදුසු ස්ථානවල මෙම පාසල් පටන් ගන්නා බව දක්නට ඇත. එසේම දැන්වීම්වල කියන තරමේ සුදුසුකම් ඇති ප්‍රවීණ ඉංගිරිසි දැනුමැති පෙර පාසල් ගුරුවරියන් මේවාට සම්බන්ධ කරගෙන සිටීදැයි යන්න ද සැකයට කරුණකි. ජාත්‍යන්තර සුදුසුකම් ලත් ඉංගිරිසි පෙර පාසල් ගුරුවරියන් මේවායේ ඉගැන්වීමේ කටයුතු කරන බව පැවසුවද, ඇත්ත වශයෙන්ම මේ අයට ළදරුවන්ට උගැන්වීමට තරම් සරු දැනුමක් තිබේද? නිවැරදි ක්‍රමවේදයක් යටතේ ළදරුවන්ට ඉගැන්වීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳ මේ අයට පුහුණුවක් තිබේද යන්න පිළිබඳවද සැක මතු වන්නේ එම පන්ති කරන ගුරුවරියන් දෙස බලන විටය.

මෙම ඇතැම් ජාත්‍යන්තර යැයි කියා ගන්නා පෙර පාසල් පිළිබඳ ප්‍රචාරය කරන බැනරවල පවා දක්නට ඇති වැරදි ඉංගිරිසි දැකිය හැක. නිවැරදි ඉංගිරිසියෙන් බැනරයක් ලියා ගන්නට බැරි ආයතනයකින් දරුවන් ඉංගිරිසි ඉගෙන ගන්නේ කෙසේද ? ජාත්‍යන්තර යන වචනය සඳහා වූ ඉංගිරිසි International යන වචනය Internationel යනුවෙන් ලියා ඇති බැනරයක්ද පසුගිය දා මගේ නෙත ගැටුණි.

කෙසේ වුවද තම දරුවා කුමන හෝ ජාත්‍යන්තර පෙර පාසලකට ඇතුළත් කිරීම සමහර අම්මලාගේ අමන්දානන්දයට හේතු වී තිබේ. මගේ පුතා දුව අහවල් ඉන්ටර්නැෂනල් පී්‍ර ස්කූල් එකට ඇතුළත් කළා යැයි ඇතැම් අම්මලා ඉතාම ආඩම්බරයෙන් කතා කරන අවස්ථා තිබේ. මේවා ජාත්‍යන්තර වශයෙන් හැඳින්වීම සඳහා ප්‍රමිතීන් මොනවාද ? මේ පෙර පාසල් බොහොමයක මේවා අනාවරණය නොවේ.

අනෙක් ගැටලුව වන්නේ මේවාට අයකරන ගාස්තු සාමාන්‍ය පෙර පාසලකට වඩා ඉතාම ඉහළ වීමය. ඇතැම් දෙමාපියෝ ණයක් තුරහක් වී හෝ මේ මුදල් ගෙවීමට යුහුසුළු වෙති.

මෙවැනි ජාත්‍යන්තර පෙර පාසල්වලට තම කුඩා දරුවා ඇතුළත් කිරීමට මහන්සි වන්නේ ඇයි ? එම දෙමාපියන් තුළ ඇති තිඹිරි ගෙයින් ගෝලීයකරණයට තල්ලු කිරීමේ මානසිකත්වය මිස අනෙකක් නොවේ. ඉංගිරිසි ජාත්‍යන්තර භාෂාවක් බවද දරුවකුට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉංගිරිසි ඉගැන්විය යුතු බවද ඇත්තය. එහෙත් ඔහුට මෙය පෙර පාසලෙන් පටන් ගත යුතුද ? අඩු වශයෙන් පහේ පන්තිය දක්වා හෝ ඉගෙන ගත්පසු ක්‍රමයෙන් ඉංගිරිසි භාෂාව ඉගැන්වීම සාර්ථක ක්‍රමයක් බව මොවුන් නොදන්නවා විය හැකිය. සිංහලයන් වන අපි මුලින්ම දරුවාට සිංහල වචන සිංහල ගීත කවි ආදිය ඉගැන්විය යුතු වෙමු. එසේ නැතුව කුඩා කළ සිටම ඔවුන් ඉංගිරිසිය මාධ්‍යයට තල්ලු කොට දරුවා ජාත්‍යන්තරයට යොමු කිරීමට වෙර දැරීම කොතෙක් යෝග්‍ය දැයි සිතා බැලිය යුතුය.

අනික් අතට දරුවා ජාත්‍යන්තර පාසලට යවන දෙමාපියන් ඉංගිරිසි දන්නේ නැත. ඔවුන් නිවසේ කතා කරන්නේ සිංහලෙනි. එවැනි අවස්ථාවක දරුවාට ළදරු පාස‍ලේ පමණක් ඉංගිරිසි ඉගැන්වීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් බලා‍පොරොත්තු විය නොහැකිය. අනෙක් අතට මේ ජනප්‍රිය පෙර පාසල් රැල්‍ලේ අපේ ජාතික  ගීය පවා ගැයීම වැඩක් නැතැයි පවසන පාසල් ද අම්මා තාත්තාට ඩැඩී, මමී කියා අමතන්නට පුරුදු කරන ඒවාද තිබේ. ඒවායින් අත්‍පොත තබන දරුවා ඉදිරියේදී ආගම, ධර්මය, මව, පියා නොහඳුනන විජාතිකයෙකු වෙනු ඇතැයි සිතිය හැකිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all