Photobucket

Sunday, December 16, 2012

ඇඹිලිපිටිය කඩදාසි කම්හලටත් පාංශකූලය ලැස්‌තියි

"ජනපති සංකල්පයෙන් යළි පිබිදෙන ඇඹිලිපිටියේ කඩදාසි කම්හල". ඇඹිලිපිටිය නගරයේ සිට නෝනාගම දෙසට කිලෝමීටර් තුනක්‌ ගිය තැන හමුවන කදුරුගස්‌ආර හන්දියේ එසේ සටහන්ව ඇති යෝධ දැන්වීම් පුවරුවකි. පුවරුවේ ඇති එම උජාරු වැකිය දෙපසින් එක්‌ පැත්තක මේ රටේ පළමු පුරවැසියාගේ ඡායාරූපයද අනෙක්‌ අන්තයේ අදාළ විෂය භාර දයාශ්‍රිත තිසේරා ඇමැතිවරයාගේ සිනහිමුසු මුහුණින් යුත් ඡායාරූපයන්ය. "යෝජිත අබලි පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාරය - ආරම්භය 2011 දෙසැම්බර් 19 දාය". මේ රටේ සෑම පුරවැසියකුගේම දැනගැනීම පිණිස තවදුරටත් එම දැන්වීම් පුවරුවේ සටහන්ව ඇත්තේ එසේය.

නිකමට අපි වසරකින් ආපස්‌සට යමු. දැන්වීම් පුවරුවේ ඇතිවා සේම එදා ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ආරම්භ කරන බව පවසා ගෙන ගිය ප්‍රචාරයෙන් ඇඹිලිපිටිය අවට ප්‍රදේශයේ වෙසෙන ජනී ජනයා මහත් සේ සොම්නස්‌ වූහ. තම දරුවන්ගේ විරැකියා ගැටලුවට යම් පිළියමක්‌ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත්හ. එතුවක්‌ නොව කඩදාසි කම්හලේ වැඩ යළි අරඹන බවට රාජ්‍ය මාධ්‍ය මගින් කියෑවෙන විට ලංකාවම සතුටු වූහ. ඒ මීට වසරකට පෙරය.

ඒ දිනයෙන් වැඩි ඈතක නොව එයින් වසරකට පසු අපි ඒ යෝධ දැන්වීම් පුවරුව ළඟින් හැරී යළි පිබිදෙන කඩදාසි කම්හලේ සිරි බලනු රිසියෙන් කඩදාසි කම්හල් භූමියට ගියෙමු. කම්හලේ ප්‍රධාන ගේට්‌ටුව හා බැඳි මුර කුටිය එකම ආශ්චර්යයකි. එහි මුරට ඇත්තේ දෙපා මිනිසුන් නොව සිව්පා ඇති සුනඛයෝය. එයින් ඇතුළට යන විට කඩදාසි සඳහා රෝපණය කළ රූක්‍ෂ ටර්පන් ටයින් ගස්‌ වගාව පෙර වූ මිනිස්‌ ඇසුරෙන් තොරව මේ මහා ජාතික දේපළට වූ වින්නැහිය දරා සිටින්නේ වැන්න. එම රූක්‍ෂ ගස්‌ අතරින් කම්හල් භූමිය තෙක්‌ ඇද තිබූ මේ වන විට විදුලිය විසන්ධි විදුලි රැහැන් බොහොමයක්‌ කපාගෙන ගොස්‌ය. කම්හල් සේවකයන්ගේ වාසස්‌ථාන ලෙස පැවැති වටිනා නිල නිවාසවල දොර ජනෙල් වහලවල් සියල්ල අතුරුදන්ව ඇත. බැලූ බැල්මට අව් වැස්‌සෙන් සේදී විනාශව යන එම නිවෙස්‌ වසංගතයකට හසුව මියගිය ජනාවාසයක කතාවක්‌ කියන්නේ වැනිය. ඉබාගාතයේ යන සුනඛයන් සහ දේශපාලන ඇම්බැට්‌ටයන්ගේ රජ දහනක්‌ ලෙස මේ මහා දේපළ ජරාජීරණව ඇත්තේ කාගේ හෙණයක්‌ නිසාදැයි වටහා ගත නොහැක. නමුත් අක්‌කර 700 ක්‌ පුරා විසිර පවතින ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අයත් භූමිය වර්ග කිලෝමීටරයක දුරක්‌ ඇවිද යන්නට මත්තෙන්ම මිහිදන්ව යන ජාතික දේපළක තරම තේරුම් ගත හැකිය. සැබෑවටම දැන්වීම් පුවරු පුවත් සිරස්‌තල මගින් ඇඹිලිපිටියේ කඩදාසි කම්හලට යළි පිබිදෙනවා කියා ප්‍රචාරය කර වසරක්‌ ගතවීමටත් පෙර මේ සිදුවූයේ කුමක්‌ද?

කඩදාසි කම්හලේ අතීතය.....

දේශීය කඩදාසි නිෂ්පාදන ධාරිතාවය වැඩිකොට විදේශිය කඩදාසි මෙරටට ආනයනය කිරීම හැකි තරම් සීමා කිරීමේ අරමුණින් 1977 වසරේ ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. 1977 වසරේ මාර්තු මාසයේ කඩදාසි නිෂ්පාදනය ආරම්භ කළ මේ දේශීය ආයතනය බුහුමන් ලැබුවේ ආසියා මහද්වීපයේ විශාලතම කඩදාසි කර්මාන්ත ශාලාව ලෙසය. විරැකියාව නැති කිරීමටද මහත් පිටිවහලක්‌ වූ මේ ආයතනය නිසා ස්‌ථිර රැකියා 1300 ක්‌ බිහිවූ අතර එමගින් උත්පාදනය වූ වක්‍ර රැකියා ගණන දස දහස්‌ ගණනකි. වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් සියයට විසි දෙකක කඩදාසි ලබාදීමට ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදනය ශක්‌තිමත් විය. ඔµaසෙට්‌, ටයිප්රයිටින්, ඩුබිලිකේටින්, වයිට්‌ ප්‍රින්ටින්, මැතිපොල් වැනි වටිනාකමෙන් ඉහළ කඩදාසි එදා මේ කම්හලෙන් වෙළෙඳපොළට බෙදාහැරිණි. මේ තත්ත්වය යටතේ 1985 වන තෙක්‌ම කර්මාන්ත ශාලාව පවත්වාගෙන පැමිණ ඇත්තේ ලාභදායි ව්‍යාපාරයක්‌ ලෙසය. මේ තත්ත්වයට ආනයනික කඩදාසි සඳහා තීරු බදු අයකිරීම තවත් රුකුලක්‌ විය. 1992 වසර වන විට ආයතනයේ ස්‌ථාවර තැන්පතුව පමණක්‌ රුපියල් මිලියන 240 කට වඩා තිබුණැයි කියනු ලැබේ. එයම ඇඹිලිපිටිය කඩදාසි කම්හල කෙබඳු තැනක තිබුණේදැයි තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.

එහෙව් ස්‌ථාවරත්වයක පැවැති මේ ජාතික වස්‌තුව නැති බංගස්‌ථාන වීමට ආයතනයට දේශපාලන පත්වීම් ලද කඳ පණුවන්ගේ බඩ වඩා ගැනීම් හැරෙන්නට පැවැති රජයන්ගේ වෙළෙඳපොළ ප්‍රතිපත්ති හේතු වූ බවද සඳහන් කළ යුතුය. එහි දරුණුම කාල පරිච්ඡේදයක්‌ වූයේ 1995 වසරය. එම වසරේ අවස්‌ථා දෙකකදී කඩදාසි ආනයනික තීරු බදු සියයට 35 සිට සියයට 10 දක්‌වා අඩු කිරීම දේශීය කඩදාසි නිෂ්පාදනයට වැදුණු මරු පහරකි. මේ නිසා අඩු මිලකට පැමිණි ආනයනික කඩදාසි දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. එතෙක්‌ වෙළෙඳපොළ සියයට 20 ක්‌ව පැවැති ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සැපයුම සියයට 5 දක්‌වා පහත වැටුණේ මේ තීරු බදු ප්‍රතිපත්තිය නිසා බව එදා එහි සේවක වෘත්තීය සමිති පෙන්වා දුන්හ. 1992 වසරෙන් පසු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඇඹිලිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලාවද සමාගමක්‌ බවට පත්කරන තෙක්‌ ලෝකයේ කිසිදු සමාගමක්‌ එය මිලදී ගත්තේ නැත. එම වාතාවරණය යටතේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදනය 1999 වසරේදී මුළුමනින්ම නවතා දමන තෙක්‌ කර්මාන්ත ශාලාව පවත්වාගෙන ඇත්තේ පාඩුපිටය. සේවකයන්ට වැටුප් ලබාදී ඇත්තේ මහා භාණ්‌ඩාගාරයය. ඇඹිලිපිටිය කඩදාසි කම්හල මිහිදන් කරවීම ඇරැඹෙන්නේ ඉන් පසුවය. මෙවැනි ජාතික වස්‌තුවක්‌ යළි ගොඩනගනවා වෙනුවට පාලකයන් කම්හලේ සිටි ස්‌ථිර සේවකයන්ට විවිධ යෝජනා ක්‍රම ගෙන ආවේය. ඒ යටතේ සේවකයන් දහසකට වඩා ඉවත් කර හැරිණි. නමුත් සේවකයෝ 150 ක්‌ පමණක්‌ වර්තමාන කතාවේ ආරම්භය වන තෙක්‌ම විශ්‍රාම නොගොසින් සිටියහ.

යළි පිබිදෙන වර්තමාන කතාව......

විවිධ කාල වකවානුවලදී දේශපාලන වේදිකාවල වරින් වර ඇඹිලිපිටියේ කඩදාසි කම්හලට අත්ව ඇති ඉරණම ගැන කතා ඇසුණත් ඉන් එපිටට කර්මාන්ත ශාලාවට වූ යහපතක්‌ නැත. නමුත් ඇඹිලිපිටියේ කඩදාසි කම්හල යනු වටිනා ජාතික වස්‌තුවක්‌ බව පිළිගැනුමෙහි අඩුවක්‌ එයින් සිදු නොවිණ. කර්මාන්තශාලාව යළි සක්‍රීයව අරඹා පෙර මෙන් උසස්‌ නිමාවෙන් යුතු කඩදාසි නිපදවීම ඉක්‌මනින්ම ආරම්භ කරන බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය කළමනාකරණ ඇමැතිවරයා උපුටා දක්‌වමින් පුවත් පළවෙන්නේ ඒ අතරතුරේය. එම පුවත්වලින් වැඩි කලක්‌ යන්නට මත්තෙන් 2011 වසරේදී රජයේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යqහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඇඹිලිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලාව සමග ඊට අයත් අක්‌කර 700 ක භූමි භාගය රුපියල් මිලියන 600 කට ඔස්‌ටේ්‍රලියාවේ පර්ත් ඉංජිනේරියන් සමාගමට පවරනු ලැබීය.

දේශීය කඩදාසි කම්හල යළි වැඩ අරඹන බවට ඒ කාලයේ දේශපාලකයන් වේදිකාවල ඇති තරමට පාරම් බෑවේය. ලිපියෙහි මුල සඳහන් දැන්වීම සඳහන් දැන්වීම් පුවරු එකක්‌ නොව දෙකක්‌ ඉහළට එසවෙන්නේ එකී පසුබිම තුළය. ඇඹිලිපිටිය ප්‍රදේශය අවට ජනී ජනයා පමණක්‌ නොව එම පුවරු දකින එතැනින් යනෙන බොහො දෙනා මේ නිසා යළි පිබිදෙන කඩදාසි කර්මාන්ත ශාලාව මනසින් දකින්නේය. නමුත් මේ පිබිදීමේ අරුමය නම් කම්හලේ කඩදාසි යන්ත්‍රය පමණක්‌ යකඩවලට නොවිකුණා පර්ත් ඉංජිනේරියන් සමාගම පැදුරටත් නොකියා පලා යැමය.

යන්ත්‍ර සූත්‍ර වලින් අද එහි ගත යුතු දෙයක්‌ ලෙස ඉතිරිව ඇත්තේ එම කඩදාසි යන්ත්‍රය පමණකි. රුපියල් කෝටි ගණනක්‌ වටිනාකමින් යුතු රසායනික ප්‍රතිසංවේදන අංශය හා කල්ක අංශයේ තිබූ වටිනා යන්ත්‍ර සූත්‍ර මුළුමනින්ම කපා කොටා යකඩ වලට විකුණනා ඇඹිලිපිටියේ කඩදාසි කම්හල මිහිදන් කර ඇත්තේ සදහටම ජාතික සම්පතක්‌ රටට අහිමි කරමිනි. එම අංශයේ පැවතියේ තඹ, පිත්තල, සුදු යකඩ හා වානේ යන වටිනා ද්‍රව්‍යවලින් සමන්විත යන්ත්‍රසූත්‍ර හා උපාංග කට්‌ටලයන්ය. කඩදාසි කම්හල ගොඩගැනීමේ වේෂයෙන් පැමිණි මේ කඳ පණුවෝ ඒ සියල්ල නැත්තට නැතිවෙන්නට අනුභව කර තිබේ. කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර තිබෙන පරිශ්‍රයට එවැනි ඉරණමක්‌ අත්වෙන විට ඉන් එපිට කර්මාන්තශාලාව සතු භූමියට අයත් දේපලවලට ප්‍රදේශයේ දේශපාලකයන්ට කත් අදින ඇම්බැට්‌ටයන්ගේ පෙරේත බැල්ම වැටිණ. උන් සමග හරි හරියට හිඳ පොදුදේපල සොරාකන zzහෝහපුටුවන්ZZ එම භූමියේ පැවැති කොස්‌, බුරුත, තේත්ක වැනි වටිනා දැව මුළුමණින්ම සංහාරය කළේය. අක්‌කර 700 ක පමණ වූ කම්හල් ජනපදයේ පිහිටි සමස්‌ථ නිල නිවාස පද්ධතියේ නිවාස වල බිත්ති පමණක්‌ ඉතිරිකර දොර ජනෙල්, සෙවිලි තහඩු සියල්ල හිතුමතේට පටවා ගෙන ගොසිනි. විදුලි රැහැන් පද්ධතිය විදුලිය නොමැති විදුලි රැහැන් පවා කපාගෙන ගොස්‌ය. පුදුමය නම් මේ විනාශය සිදුව ඇත්තේ zzයලි පිබිදවීමටZZ ඔස්‌ටේ්‍රලියා පර්ත් ඉන්ජිනියරින් සමාගමට බාරදුන් වසරක කාලය තුළය. කම්හල පවරාගත් එම සමාගම අද කර්මාන්තශාලාවේ සියලු සම්පත් විකුණාගෙන කඩදාසි කම්හල වාණිජ බැංකුවකට උකස්‌කර රොඩ්ඩ පමණක්‌ ඉතිරි කර පැදුරටත් නොකියා පළාගොසින්ය.

මේ රටේ සිදුවන දේ හැටියට මෙය අරුමයක්‌ නොවීම නම් මේ සියල්ල වනතුරු රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සුව නින්දක පසුවීමය. අශ්වයා ගියාට පසු ඉස්‌තාලය වසා දැමුවාසේ එම අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරියකු මේ ගැන සොයා බැලීමට පැමිණ ඇත්තේ මේ නොබෝදාය. එය සිදුවන්නේද මෙතෙක්‌ ඉතිරිව පැවැති කර්මාන්තශාලාවේ දේපලක්‌ වූ සංචාරක බංගලාවට පසුගියදා දේශපාලන ඇම්බැට්‌ටයන් පිරිසක්‌ සුද්දේ දුන්නාට පසුවය. රුපියල් ලක්‍ෂ 65 ක්‌ වටිනා දේපල (සංචාරක බංගලාවේ) සොරුන් ගෙන ගොස්‌ ඇති බව ඔහු පොලිසියේ පැමිණිල්ලක්‌ දමා ඇත. එයින් පසු කිසිවෙක්‌ මේ ජාතික දේපලට වනවිනාශය ගැන කතාවක්‌ නැත. නමුත් ඇඹිලිපිටියේ සිට නෝනාගම දෙසට යන ඕනෑම කෙනෙකුට zzයළි පිබිදෙනZZ බව සඳහන් උජාරු දැන්වීම් පුවරුව දැකිය හැකිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all