Photobucket

Thursday, December 20, 2012

මාතලේ නාය යැමේ අධි අවදානම් කලාපවලින් ජනතාව ඉවත

නාය යැමේ අධි අවදානම් කලාප කීපයක්‌ මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් හඳුනාගෙන එම කලාපවලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ මාතලේ දිස්‌ත්‍රික්‌ ප්‍රධානි භූ විද්‍යාඥ චමින්ද මොරේමඩ මහතා විසින් නිර්දේශ කර ඇත.

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අධි අවදානම් කලාප ගණනාවක්‌ එහි නිර්දේශ කර ඇත. නිකලොය, වෙරළුගස්‌තැන්න, වෙලංගහවත්ත ප්‍රදේශ නාය යැමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කන්දේනුවර, පිටකන්දවත්ත ප්‍රදේශ, අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පුස්‌සැල්ල නවෝද්‍යා විදුහල් කලාපය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විල්ෂෙයාර් කඳුවැටිය ආශ්‍රිත කලාපය නාය යැමේ දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

මෙම ප්‍රදේශවලින් ඊයේ (19 දා) වන විට නාය යැම්, ගල් පෙරළීම්, පස්‌ කඳු කඩා වැටීම් ආදී සිද්ධි 26 ක්‌ වාර්තා වී තිබිණි. වෙලංගහවත්ත දික්‌කුඹුර, හරස්‌ගම, කන්දේනුවර, කන්දේගෙදර ප්‍රදේශවලින් පවුල් 35 ක්‌ පමණ ඉවත් කිරීමට ද නිර්දේශ කර ඇත.

දින ගණනාවක්‌ පැවැති වැසි ජලය පොළොව තුළ ක්‍රමයෙන් ගලා යමින් ඇති නිසා නාය යැමේ සහ ගිලා බැසීමේ අධි අවදානමක්‌ ඇති බැවින් කඳු මුදුන් ආශ්‍රිතව පදිංචි ජනතාවත්, මීට පෙර නාය යැම් ගිලා බැසීම් සිදුවූ ප්‍රදේශවල පදිංචි ජනතාවත් වඩාත් විමසිලිමත් වියයුතු බව ද ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානය පවසයි.

අඹන්ගඟ කෝරළයේ පුස්‌සැල්ල නවෝද්‍යා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල යළි භාවිතයට ගත නොහැකි බවත්, එම ප්‍රදේශයේ නාය යැමේ අවදානමක්‌ ඇති බවත් හෙතෙම පැවැසීය.

විල්ෂෙයාර් කඳුවැටියේ නාය යැමේ අවදානම මේ වන විට ආරම්භ වී ඇති බවත්, මේ වන විටත් කඳු මුදුනේ කොටසක්‌ නාය ගොස්‌ ඇති බවත් පෙන්වා දෙන භූ විද්‍යාඥ චමින්ද මොරේමඩ මහතා කඳුවැටිය පාමුල සහ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අවදියෙන් පසුවිය යුතු බව ද අවධාරණය කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all