වැඩිහිටියන්ගෙන් කෙතරම් විවේචන එල්ල වුවත්
තරුණ පරම්පරාවේ බොහොමයක් ෆේස්බුක් ලෝකයෙන් ඈත් වී හිඳින්නට අකමැති වෙති.
කොයිතරම් නාත්මක ලක්ෂණ තිබුණද මේ වන විට ෆේස්බුක් සංස්කෘතියක් නිර්මාණය වී
හමාරය. ජංගම දුරකතනවලින්ද අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලබා දෙන වැඩසටහන්
නිර්මාණය වී තිබිමත් මේ තත්ත්වය දියුණු කිරීමට හේතු වී තිබේ.
අලුතින් මිතුරු මිතුරියන් හඳුනාගත් විට දැන් බොහෝ තරුණයන් විමසන්නේ ජංගම
දුරකථන අංකය නොව ඔහුගේ ෆේස් බුක් ගිණුමේ නම කුමක්ද යනුවෙනි. ඒ තරම්
ෆේස්බුක් අපිට සමීප වී තිබේ. එමෙන්ම වෙනත් සමාජ ජාලයකට ෆේස් බුක්වලට
අභියෝග කරන්නට හැකියාව ඇති වෙනත් සමාජ ජාලයක්ද නිර්මාණය වී නැතිගානය.
ෆේස්බුක්
භාවිතයෙන් සිදුවූ අප්‍රසන්න සිදුවීමක් නිසා පසුගිය දිනයේ තරුණියක මිය යාම
ෆේස්බුක් පිටු මෙන්ම මුළු ලොවම කළඹාලූ ආරංචියක් විය. ෆේස්බුක්හි අයහපත්
බලපෑම පෙන්වන හොඳම උදාහරණයක් ලෙසින් එය සැලකිය හැකිය. මේ සමගම ෆේස් බුක්
භාවිතයෙන් සිදු කරන අකටයුතුකම් පිළිබඳව විවිධාකාරයේ කතාබහ මතු විය.
ෆේස්බුක්හි එන ව්‍යාජ ගිණුම් පිළිබඳව එහිදී සඳහන් විය. බොහෝ පිරිසක් විවිධ
හේතු නිසා ෆේස්බුක් හි ව්‍යාජ නම්වලන් පෙනී සිටින්නට කැමති බව ඔවුන්ගේ
සංඛ්‍යාලේඛන පිරික්සූ විට පෙනී යයි.
බොහෝ විට වෙනත් නමකින් පෙනී සිටින ගිණුම් හිමියෙකු එයින් අපේක්ෂා කරන්නේ තම ෆේස්බුක් මිතුරු මිතුරියන් රැවටීමය. එසේත් නොමැති නම් එම නම හිමි සැබෑ පුද්ගලයා අපහසුතාවට පත් කිරීමටය. නමුත් එවන් අරමුණකින් තොරව ව්‍යාජ ගිණුම් පවත්වගෙන යන පිරිස්ද ෆේස්බුක් සිටිති.
පොදුවේ මේ ගිණුම් ෆේස් බුක් සංස්කෘතිය තුළ දී හැඳින්වෙන්නේ ෆේක් එකවුන්ට් නමිනි. ෆේක් යන වදනෙහි අර්ථය ව්‍යාජ හෝ බොරු යන්න නමුත් ඒවා දකින ඕනෑම පුද්ගලයෙකුට එය කෙනෙකුගේ පෞද්ගලිකත්වය හඟවන්නක් නොවන බව අවබෝධ කරගත හැකිය. ක්‍රියාකාරී ලෙසින් එෆ්. බි. භාවිත බොහෝ පුද්ගලයන්ගේ මිතුරු මිතුරියන් අතර අන්වර්ථ නාමයකින් පෙනී සිටින ගිණුම් එකක් හෝ තිබිම පුදුමයක් නොවේ. එවන් අන්වර්ථ නාමධාරී ගිණුමක් සක්‍රියව පවත්වාගෙන යන මගේ මිතුරෙකු පැවැසුවේ ඔහුගේ මිතුරු ගිණුම් ගණන තුන්දහසක් පමණ වන බවත් ඉන් බහුතරය අන්වර්ථ නාමධාරී ඒවා බවත්ය.
මේ අන්වර්ථ නාමධාරී ගිණුම් බොහෝ විට ඉලක්ක කරගන්නේ විනෝදාස්වාදය සැපයීම බව පෙනෙන්නට තිබේ. පහළ වෙලේ කබරගොයා, හිත හොඳ පැන්ඩා, මූණු පුස්තක හැකර්, මචං මැක්ස් ආදී නම්වලින්ම ඒ බව හැඟවෙයි. ඇතැම් නමක් තෝරාගෙන ඇත්තේ ප්‍රකට චරිතයකින් බව පෙනේ. ඒ අනුව සූර සරදියෙල්, සෝමා දේවිය, බැරැක් ඔබාමා, හිට්ලර් හා වීර දුටුගැමුණුටද මූණු පොතේ පිටුවක් තිබේ. එමෙන්ම කුඩා ළමයෙකුට අයත් බව හඟවන නම් යෙදූ ගිණුම්ද බහුලය. සුදු චූටි, උක්කුං චූටි, සුදු පුතු, සුදු බබා ආදී නම් ඒ අතර වේ. දොම්පෙ යකෙක්, ඩොන් අයියා, ජැක් සැපැරෝ, සැවැන්දරා සුවඳ, පුංචි සමනලී ආදිය තවත් නම් කිහිපයකි. එමෙන්ම ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සූකර්බර්ග්ගේ නමින්ද ගිණුමක් තිබේ.
ජස්ටින්
බිබර්ට සහ සෙලීනා ගෝමස්ටත් සිංහලෙන් ගිණුම් පවතින බව ඔවුන් දන්නවා නම්
බොහෝ සතුටු වනවා ඇත. නමුත් මේ ගිණුම්වලට ඔවුන්ගේ නම් යොදා තිබුණද සාමාන්‍ය
ගිණුමක් ලෙසින් පවත්වාගෙන යාම හැරෙන්නට එකී ප්‍රසිද්ධ චරිත ලෙසින් පෙනී
සිටීම සිදු නොවෙයි. එමෙන්ම නම ගිය අපරාධකරුවෝද දැන් ෆේස් බුක් හි පෙනී
සිටිති. සොත්ති උපාලි, මරු සිරා, කළු අජිත් ඒ අතර ප්‍රධානය. එමෙන්ම මෙවන්
ඇතැම් ගිණුමක් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ කිසියම් ප්රකාශනයක් එළි දක්වන්නට
බව පෙනේ. ඒවාට යොදා ඇති නම් පිරික්සීමේදීම ඒ බව පැහැදිලි වෙයි. හෙළ
උරුමක්කාරයා, හෙළයේ සිංහ ඝර්ජනාව වැනි ගිණුම් එබඳු ඒවාය.
එමෙන්ම ජනප්‍රිය කාටූන් චරිතවලටද ෆේස්බුක් ගිණුමක් තිබේ. ගලපාත මහත්තයා මෙන්ම විමලා බොරළුගොඩද, ජිම් පප්පා, කව් බෝයි, ආදී බොහොමයක් ද ෆේස්බුක් හිදී දැකබලා ගන්නට පුළුවන. මේ ගිණුම් අතර පූසන්ද වැහි වැහැලාය. මිසිස් සිල්වෙස්ටර්, සිල්වෙස්ටර් පූසා, පිස්සු පූස්, පිස්සු පූසා, පූස් පැටියා ඒ අතර වෙති. එමෙන්ම ‘මුඩුක්කුවක එක්සත් පූසන්ගේ සංගමය’ යනුවෙන් ඔවුන් එකතු වී සංගමයක්ද නිර්මාණය කොටගෙන තිබිණි. මේ ආදී සංගම් හෙවත් ගෲප් විශාල ප්‍රමාණයක්ද අන්වර්ථ ගිණුම් අතර තිබෙනු දකින්නට පුළුවන.
මේ ගිණුම් බොහොමයක් පවත්වාගෙන යන්නේ සිංහල භාෂාවෙනි. සිංහල යුනිකේත ඉතා පහසුවෙන් භාවිත කිරීමට අවස්ථාව ලැබි ඇති නිසා බොහෝමයක් තරුණ තරුණියෝ ගිණුම්වලට සිංහල යොදාගන්නට පෙළඹී සිටිති. ඒ මගින් තමන්ගේ සැබෑ ගිණුම්වලින් ඉදිරිපත් කරන්නට නොහැකි බොහෝ දේ කියා ගන්නට ඔවුන් සමත් වී තිබෙන බැව් පෙනේ. මේවායින් ඇතැම් ඒවා වෙන් වී ඇත්තේ කවි වෙනුවෙනි. තමන් නිර්මාණය කරන කවි අන්වර්ථ නාමයකින් එළි දක්වන විට ඒවාට ලැබෙන ප්‍රතිචාරවලට මුහුණ දීම පහසුවක් විය හැකිය. නවක කවීහු සැලකිය යුතු පිරිසක් මේ ඔස්සේ තමන්ගෙ කවි ඉදිරිපත් කිරීමට පෙළඹී තිබේ. වස්සාන සිහිනය, කවිකාරී, කවි ලියන කින්නරී, කවිය මං, , සිත්තරී මං, පන්හි½දට ආදරෙන් ආදී නම්වලින් පෙනී සිටින්නේ ෆේස්බුක්හි ජනප්‍රිය කවියෝය.
ඇතැම් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන්නේ කලාව හෝ සාහිත්‍යය වැනි මාතෘකා ගැන කතා කරන්නටය. සිත්තරී මං එවැනි ගිණුමකි. එහි අයිතිකාරිය තමාගේ සිත් ගත් කලා හෝ සාහිත්‍ය කෘති පිළිබඳව සිය ගිණුමෙන් කෙටි විචාර ඉදිරිපත් කරයි. ඇගේ මිතුරු මිතුරියන් පිරිවර ඒවාට විවිධ ප්‍රතිචාර දක්වති. හිතෙන දේවල්, ඇට මැස්සා ආදී ගිණුම්ද මේ ආකාරයෙන් විචාරශීලී මත ගොඩනංවන්නට සමත් වී ඇති බව පෙනේ.
මේ අන්වර්ථ නාමවලින් පෙනී සිටින ගිණුම් හිමියෝ එකිනෙකා අතර මනා සබඳතාවක් පවත්වාගෙන යති. සැබැවින්ම ඔවුන් කවර ආකාරයේ පුද්ගලයන් දැයි නොදන්නා නමුත් ඔවුහු ෆේස්බුක් ගිණුම පවත්වාගෙන යන ආකාරයෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් සහ ක්‍රියා කලාපයන් හඳුනාගත හැකිය. මෙහිදී බොහෝ අය තම එදිනෙදා ජීවිතයේ තොරතුරු කුඩා සඳහනක් (පෝස්ට් එකක්) ලෙස සිය පිටුව මත ඉදිරිපත් කරති. එයින් ඒ එක් එක් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි නොවුණද ඔහුගේ රැකියාව සහ පවුලේ තොරතුරු පිළිබඳව දළ අවබෝධයක් මිතුරු මිතුරියන්ට ලැබේ. ඒ අනුව ඔවුහු හොඳ නොදුටු මිතුරන් බවට පත්වෙති.
සැබෑ නම්වලින් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයෝ තම ෆේස්බුක් මිතුරු මිතුරියන් සියල්ලන්ම ඇසුරු කරන්නේ සම මට්ටමින් නොවේ. අතිශයින් ලබැඳි මිතුරු මිතුරියෝ මෙන්ම දුරස්ථ මිතුරෝද මව පියා පවුලේ උදවිය මෙන්ම නෑයෝද එමෙන්ම ෆේස්බුක් මගින්ම හඳුනාගත් මිතුරු මිතුරියෝද ඔවුන්ගේ ගිණුම්වල සිටිති. එබැවින් ඔවුන් සිය පෞද්ගලික තොරතුරු පොදුවේ ඉදිරිපත් කිරීමට පෙළඹෙන්නේ නැත. නමුත් අන්වර්ථ නාමධාරීන් සිය ජීවිතයේ වන ඉතාම සුළු දෙයක් පවා කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් කරති. උදාහරණ ලෙස නිවසේ අලුත් ආකාරයේ කෑමක් සෑදීම, නිවසට සර්පයෙකු පැමිණීම එසේත් නොමැති නම් පවුල් අය අතර කිසියම් හාස්‍යජනක සිද්ධියක් වීම වැනි දේ ව්‍යාජ ගිණුම්වලින් ඉදිරිපත් වේ. බොහෝ දෙනෙකු සැබෑ අනන්‍යතාව සඟවාගෙන සිටින බැවින් එවන් තොරතුරු රිසිසේ ඉදිරිපත් කිරීමට පෙළඹේ.
මේ ගිණුම් හිමි ඇතැම්හු දිනපතා නිශ්චිත වේලාවකදීද, ඇතැම් අය දවස පුරාම ද ෆේස් බුක් පැමිණෙන අය වෙති. එවන් අයෙකු යම් හේතුවක් නිසා සාමාන්‍යයෙන් දින කිහිපයක් ෆේස්බුක් නොපැමිණෙන්නේ නම් ඒ බව දන්වා යාම සිරිතකි. මන්ද යත් ඔවුන්ගේ පැමිණීම අනෙක් මිතුරු පිරිවර බලාපොරොත්තුවෙන් සිටින බැවිනි. මෙය සාමාන්‍ය ගිණුම් හිමියන් අතර දැකිය නොහැකි තත්ත්වයකි.
මෙලෙස අන්වර්ථ නමකින් ගිණුම් පවත්වාගෙන යන අය එකිනෙකා සමග සංවාදවලට (ජඩචබ) එළඹීම සාමාන්‍ය දෙයකි. එහිදී ඔවුන් එකිනෙකා පිළිබඳව බොහෝ දේවල් දැනගන්නට ලැබේ. මෙවන් සංවාදවලදී ඇතැම් අය සිය සත්‍ය නම්ගම් හා සත්‍ය ෆේස්බුක් ගිණුම ආදී තොරතුරුද හුවමාරු කරගනිති. මෙවන් සංවාදවලදී සිය සත්‍ය තොරතුරු විමසා නොසිටින්නැයි ඉල්ලමින් ඇතැම් අන්වර්ථ නාමධාරී ගිණුම් හිමියන් සටහන් කර තිබෙන අවස්ථාද දැකිය හැකිය.
මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු එකතු කරගෙන සිටින නිතරම ෆේස්බුක් පිවිස සිටින ගිණුම් මේ ජාලය තුළ ප්‍රබල චරිත බවට පත් වෙයි. එවන් ගිණුම් ඇතැම් විට ඔහු වටා රැඳී සිටින පිරිසට නැතිවම බැරි එකක් බවට පත් වෙයි. එමෙන්ම මෙවන් ගිණුමක් බොහෝ ජනප්‍රිය වන්නට නම් එය කිසියම් අපූර්වත්වයකින් යුතු වීම අනිවාර්යය. ඇතැම් ගිණුම් නිර්මාණශීලීත්වය තුළින් මේ ආකර්ෂණය ලබා ගනී. ඇතැම් ගිණුම් හාස්‍යජනක දේ ඉදිරිපත් කිරීමෙන්ද, රැඩිකල් අදහස් ඉදිරිපත් කිරීමෙන්ද සුවිශේෂී වී තිබේ. කෙසේ වුවද වඩා නිර්මාණශීලී දේ අනන්‍යතාවකින් ඉදිරිපත් කරන ගිණුම්වලට වැඩි හොඳ පිළිගැනීමක් හා වැඩි ප්‍රතිචාර ලැබේ.
එමෙන්ම මෙම ඇතැම් අන්වර්ථ නාමධාරී ගිණුම් කිසියම් ප්රචාරාත්මක අරමුණකින්ද පවත්වාගෙන යන අවස්ථා හඳුනාගත හැකිය. ඔවුන්ගේ අරමුණට ගැළපෙන අදහස් සහිතව පවත්වාගෙන යන ගිණුම් ඒ වටා රොක් වීම සිදු වේ. ඒ අනුව ඇතැම් අන්තවාදී මත ප්‍රචාරය කිරීමේ අරමුණින්ද ඇතැම් ගිණුම් ක්‍රියාත්මක වේ. මෙලෙස සමාන අරමුණකින් ක්‍රියාත්මක වන ගිණුම් රැසක් එකමුතුවක් ලෙසින් ක්‍රියාත්මක වන අවස්ථාද හඳුනාගත හැකිය. එක් අයෙකුට මෙවන් ව්‍යාජ ගිණුම් කිහිපයක් පැවැතීම සාමාන්‍ය තත්ත්වයකි.
මෙවන් ඇතැම් ගිණුම් සභ්‍ය සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කරන අවස්ථාද තිබේ. ඔවුහු බොහෝ විට කිසියම් අන්වර්ථ නාමයක් වෙනුවට සාමාන්‍ය නමකට සමාන ව්‍යාජ නමක් භාවිත කරති. එවන් ගිණුම් වටා රොක් වන්නේ ඔවුන්ට ගැළපෙන අදහස් සහිත පුද්ගලයන් පමණක් බැවින් අනෙක් ෆේස්බුක් සාමාජිකයන්ට ඔවුන්ගෙන් බාධාවක් සිදු නොවේ.
ව්‍යාජ ගිණුම් ඇතැම් විට සාමාන්‍ය ෆේස්බුක් භාවිත කරන්නන් අතරද ජනප්‍රිය වී තිබෙනු දැකිය හැකිය. විවිධ නම්වලින් පැමිණෙන මෙවන් ගිණුම් ඇතැම් විට කෙටි කාලයකින් ජනප්‍රිය වී කෙටි කාලයකින්ම අක්‍රිය වී යනු දැකිය හැකිය. කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය, ආයෙ පිස්සුවක් ඇතෑ ආදී ගිණුම් බොහෝ විට සැබෑ නමින් ගිණුම් පවත්වාගෙන යන අය අතර ජනප්‍රිය වූ ගිණුම් දෙකකි.
කවි මඩුද ෆේස්බුක් හි තිබේ. ඒ අපේ කවි සහ බයිලා මඩුව වශයෙනි. එයට බොහෝ දෙනෙකු කවියෙන් පෝස්ට් එක් කරන පිටුවක් (නචඨඥ) ලෙසින් පවතින්නකි. මේවා අධ්‍යයනය කිරීමෙන් බොහෝ විට තරුණ පරපුරේ නැඹුරුතාවන් හඳුනාගත හැකිය. බොහෝ අය කැමති වන්නේ බයිලා ආකෘතියෙන් නිර්මාණය වූ කවි පද එක් කරන්නටය. එක් අයෙකු ආරම්භ කරන සංවාදයකට අනෙක් පිරිස්ද පද්‍ය කොටස් මගින් සම්බන්ධ වෙයි.
මේ අන්තර්ජාල උප සංස්කෘතියේ ඇති තවත් අපූරු ලක්ෂණයක් වන්නේ ඔවුන් ඒ සඳහා විශේෂ වචන මාලාවක් ගොඩනගාගෙන තිබිමයි. ඔවුන් ෆේස්බුක් ජාලය හඳුන්වන්නේ මූණු පොත නමිනි. එමෙන්ම එහි පළකරන අදහස් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ පෝස්ට් (නධඵබ) නමිනි. මෙම සාමාජිකයන් අතරේ එය පෝස්ටු නමින් හැඳින්වේ. පරිගණක තිරයේ දර්ශන ලබා ගැනීම (ඵජපඥඥද ඵඩධබ ) මෙහි ස්කිරිං සොට් යනුවෙන් හැඳින්වේ. එමෙන්ම ලයික් (තඪඬඥ) යෙදීම ලයික්කු නමින්ද, ෆෝක් කිරීම (ටධඬඥ) ඇඟිල්ලෙන් ඇනීම යැයිද භාවිත වේ. මේ පිරිස අතර චිත්‍රපට ෆිලුම් යනුවෙන් හැඳින්වේ.
මෙහි සඳහන් කළ පරිදි මනා අනේයාන්‍ය සබඳතාවකින් යුතුව මේ ගිණුම් කටයුතු කරන නමුත් ඇතැම් විට මේ ගිණුම් අතර ගැටුම් ඇතිවන අවස්ථාද තිබේ. විවිධ මත දැක්වීම් අරබයා මෙවන් තත්ත්වයන් ඇතිවේ. එවිට එම අන්වර්ථ නාමධාරීහු සදාතනික වෛරකාරයන් බවට පත් වෙති. ඇතැම් ගිණුම් සිය මිතුරු පිරිවර හැර යති. ඇතැම් විට නික්ම ගිය ගිණුම් හිමියෝ වෙනත් නමකින් පැමිණෙති.
බොහෝ බ්ලොග් හිමිකරුවන්ද මේ ආකාරයේ ගිණුමක් පවත්වාගෙන යන බැව් පෙනේ. අනන්‍යතාවය හෙළි නොකරමින් පවත්වාගෙන යන බ්ලොග්වලට ප්‍රචාරණයක් ලබා ගැනීමට මෙම ගිණුම් මගින් හොඳ අවස්ථාවක් හිමිවේ.
කෙසේ වුවද මේ මිතුරු මිතුරියන් කෙතරම් සමීපව කටයුතු කළද සිය සැබෑ පෞද්ගලික තොරතුරු හෙළි කරන ගිණුම් හිමියන් තරම් විශ්වසනීයත්වයක් මේ පිරිස පිළිබඳව තැබිය නොහැක. සියලු දෙනාගේම ගිණුම්වලට අසභ්‍ය ඡායාරූපයක් එක් කිරීමට මේ ගිණුම් හිමියෙකුට අවස්ථාව තිබේ. එවන් අත්දැකීම් මෙවන් ගිණුම් පවත්වාගන්නා අයට ඇත. එබැවින් ෆේස්බුක් තුළ හැකි සෑම අයුරින්ම තම ආරක්ෂාව සපයා ගනිමින් සැරිසැරීම අතිශයින්ම වැදගත්ය.
ද බි. ජී. එම්.
ජනප්‍රිය
1 comments:
ෆේක් එකවුන්ට් ද කොහෙද වැඩිපුර තියෙන්නේ
මේ වර්ඩ් වෙරිපිකේෂන් මහ වාතයක්
Post a Comment