ලෝක විනාශය ගැන හා...හෝව දැන් හැම තැනින්ම නැගෙයි. ඒ අතරම ලංකාවේ මිනිසුන්ටත් මතෛක් නෑසූ විරූ අමුතු සිදුවීම්
සමුදායකටත් මුහුණ පාන්නට සිදුව තිබේ. රතු වැස්සත්, පාසල් සිසුන් සමූහ
මෝහනයට ලක්වීමත්,පිටසක්වල යානා දිස්වීමත් බඳු මේ සිද්ධි සමුදායට දැන්
අලුතෙන්ම එක් වී ඇත්තේ භූමි කම්පා පෙළක් වාර්තාවීමයි.
පසුගිය සති කිහිපයක කාලය තුළ එක පෙළට වාගේ සිදුවූ මේ භූ කම්පන රැස වාර්තා වූයේ අම්පාර ප්‍රදේශයෙනි. දමන, වඩිනාගල, දේවාලන්ද, ගල් කන්ද, සෙත්සිරිගම, ගලපාමුල, කිවුලේගම, පල්ලම්ඔය, ජයන්ති වැව ආදී ප්‍රදේශ ගණනාවකින්ම මහා පිපිරුම් හඬක් සමග ආ භූ චලනයක් ගැන වාර්තා ඉදිරිපත් විණි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද පවසන්නේ මේ තත්ත්වය අසාමාන්‍ය වූවක් බවය.
සාමාන්‍යයෙන් මේ වගේ දිනකට කිහිප වතාවක් බැගින් එකදිගට කම්පන වාර්තා වෙන්නේ නෑ. ඒ වගේම පිපුරුම් ශබ්ද වගේ දේවල් භූ කම්පන සමග සම්බන්ධ වන අවස්ථා විරලයි. මේ නිසා මෙය අමුතු අසාමාන්‍ය තත්ත්වයක් ඒ හින්දාම අපේ භූ විද්‍යාඥයන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් අදාළ ප්‍රදේශවලට යවා මේ ගැන සොයා බලන්නට අපි කටයුතු යෙදුවා. හැබැයි දැන් ඒ පර්යේෂණ ඇරැඹීමත් සමගම වාර්තා වෙලා තිබෙන්නේ හරිම අපූරු තත්ත්වයක්.
භූ විද්‍යා කාර්යාංශයේ සභාපතිවරයාට අනුව ජනතාව කළඹවමින් මුළු රටේම අවධානය දිනා ගනිමින් , ලෝක විනාශ භීතිය ජන හද තුළට කැන්දාගෙන ආ මෙම අමුතු කම්පන මාලාව දැන් හිටි අඩියේම නැවැතී ගොස් තිබේ. එය හටගත් ආකාරය මෙන්ම අවසන් වූ ආකාරයද මහත් අබිරහසක්ව ඇති බව ඔහු කියයි.
පසුගිය කාලයේ ඉදිරිපත් වූ අදහසක් වූයේ ලංකාව ආශ්‍රිතව ඉන්දු - ඕස්ට්‍රේලියානු නව භූ තැටියක් බිහිවෙමින් පවතින බවත් එහෙයින් ලංකාවට ඉදිරියේ දී මහා භූ කම්පනවලට මුහුණ දීමට සිදුවන බවත්ය. එසේම ලෝක ප්‍රකට විද්වතකු හා භූ කම්පන විශේෂඥයකු වූ මහාචාර්ය කේරී සීග් පවසා තිබුණේ ඉදිරි දශක කිහිපය තුළ ඉන්දුනීසියානු කලාපයේ යෝධ භූකම්පනයක් සිදුවන බවකි. එසේම ඉදිරිපත් වූ තවත් මතයක් වූයේ පෘථිවියේ ධ්‍රැව වෙනසකට භාජනය වීමට නියමිත බවය. ඉතා මෑතකදී පෘථිවියේ චුම්භකත්වය වෙනස් වෙමින් ඇති බවටද කරුණු ඉදිරිපත් විණි. ඉතින් මේ සියල්ල මගින් තැති ගන්වනු ලදුව සිටි ජනතාව අම්පාරේ අමුතු භූ කම්පන මාලාව පිළිබඳ තදින් විමසිලිමත් විම අරුමයක් නොවේ.
භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයානන්ද ඒ ගැන දක්වන අදහස් මෙසේය.
ඔය අලුත් භූ තැටිය නිර්මාණය වෙන්නේ ලංකාවේ දකුණු ප්‍රදේශයේ සිට කිලෝමීටර් 800 කටත් එහායින්. මේ නිසා අප රට ඇතුළත් වන්නේ ඒකේ මධ්‍යයට. ඉතින් දරුණු මට්ටමේ භූ කම්පනයක් ඇති වන්නට අවස්ථාව අඩුයි. එතකොට ඔය අනෙක් කතා සියල්ලම කාලයකට වරක් ලෝකයේ සිදුවන ක්‍රියාවලියක්. එමගින් මහා විනාශයක් සිදුවන බවට සාක්ෂි ඉදිරිපත් වෙලා නෑ. අතීතයේ දී එහෙම වුණා කියලා පෙන්වන්න හදන්නේ ලෝක විනාශය ගැන මත පළ කරන අයයි.
එසේ වුවද , භූ විද්‍යා කාර්යංශය අම්පාර වෙත පිරිසක් යවා සැබෑ තත්ත්වය වාර්තා කර ගැනීමට උත්සුක වී තිබේ. අම්පාරේ භූ චලනය ගැන සොයන්නට ගිය පිරිසේ මූලිකත්වය ගත්තේ භූ විද්‍යාඥ අජිත් ප්‍රේම්ය. ඔහු සිය කණ්ඩායම ලද අත්දැකීම අප වෙත මෙසේ දැක්වීය.
ප්‍රදේශයේ කිසියම් කම්පන මාලාවක් ඇති වෙලා තිබෙන බව ඇත්තයි. මෙහෙ මිනිස්සු කියන්නේ බොරු නමෛයි. හැබැයි මේ තත්ත්වය හරිම අසාමාන්‍යයි. ඒ කියන්නේ බූම් කියලා මහා පිපිරුම් හඬක් ආ බවත් ඒ සමගම පොළොව හෙල්ලුන බවත් ඔවුන් කියනවා. ඒ වගේම දිනකට හතර පස් වතාවක් මෙය සිදු වී තිබෙනවා. මෙයට පෙර එවැන්නක් වාර්තා වෙලා නෑ.
අපි මෙහෙට ආවේ අඟහරුවාදා. එදා අපි භූ කම්පන තරංග මනින උපකරණයක් සවිකළා. වඩිනාගල, දේවාල හිඳ, පල්ලන් ඔය කියන ප්‍රදේශ තුන ආශ්‍රිතව ඒවා සවි කළා. ඒ වුණාට මේ උපකරණ සවි කිරීමත් සමගම මේ ප්‍රදේශයේ ඔය කියන කම්පන , චලන, පිපිරුම් ශබ්ද වාර්තා වීම හාස්කමකින් වගේ දැන් නැවතිලා , මේක අපිටත් හිතාගන්න බැරි තරම් දෙයක්. දැන් අපි පර්යේෂණ ඉදිරියට කරගෙන යන්නේ මේ ඇති වූ සංසිද්ධිය හරියටම හඳුනා ගැනීමටයි. ඒ සඳහා තව දින දෙක තුනක් යයි.
කලින් කලට පලින් පල ජනතාව කලඹවාලන ආකාරයේ සිදුවීම් වාර්තාවීම ස්වභාවිකය. සමහර අවස්ථාවලදී මේවා කාගේ හෝ කුමක් හෝ වුවමනා සඳහා මවාපානා කරුණුය. කිසිදු විද්‍යාත්මක පදනමක් නැති අනතුරු රහිත සිදුවීම්ය. එසේ වුවද භූ කම්පනයක් බඳු අතිශය සංකීර්ණ ස්වභාවික සිදුවීමක් පිළිබඳව නිශ්චිතවම පුරෝකථනය කළ හැකි තාක්ෂණයක් තවමත් නැති හෙයින්, වැඩිදුර කෙරෙන පරීක්ෂණයක් අත්‍යවශ්‍යමය.
ලෝකයේ වෙනත් රටවල මහා භූ චලන සිදු වූ අවස්ථාවන් හිදී මූලික භූ කම්පන මාලාවක් මුලින් ඇති වූ අවස්ථා වාර්තා වී තිබේ.
භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයානන්ද ඒ ගැන පිළිගනියි.
සමහර රටවල සිදු වූ භූ කම්පන වලදී මේ වගේ කුඩා භූ චලන කිහිපයක් මුලින් සිදුවෙලා තියෙනවා. ඉන්පසු මහා භූ චලනය සිදු වී තිබෙනවා. ඉන් පසුව නැවතත් කුඩා භූ චලන කිහිපයක් සිදුවෙනවා. හැබැයි මුලින් භූ චලන කිහිපයක් ඇති වූ පමණින්ම මහා භූ චලනයක් මග එන බව කියන්න අමාරුයි. අම්පාරේ තත්ත්වය ගැන තාම පර්යේෂණ කෙරෙන නිසා අපට ස්ථිරව යමක් කියන්න තාම කල් වැඩියි. හැබැයි මේ පිපිරුම් හා චලන ආශ්‍රිත සිද්ධිය නම් හරිම අස්වාභාවිකයි.
මේ අනුව තවමත් අම්පාරේ භූ චලන මාලාවට හේතුව අබිරහසක්ව පවති. එසේම ඒ සිදු වූයේ භූ චලනයක් දැයි තවමත් විද්‍යාත්මකව තහවුරු කිරීමක්ද කර නැත.
අම්පාරේ භූ විද්‍යා කාර්යාංශයේ ප්‍රතිග්‍රාහක මධ්‍යස්ථානයක් පිහිටුවීමට මෙයට පෙර යෝජනා ඉදිරිපත් වී තිබුණි. ඒ බුද්ධංගල ආශ්‍රිතවය. එහෙත්, අධික පිරිවැය හේතු කොට එය පිහිටුවීම මතෛක් සිදුවී නැත. දැනට කොළඹට අමතරව එබඳු මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ මහකනදරාව පල්‍ලේකැලේ සහ හක්මන ප්‍රදේශවලය. යම් හෙයකින් අම්පාරේ භූවිද්‍යා කාර්යාංශයේ ප්‍රතිග්‍රාහක මධ්‍යස්ථානයක් පිහිටා තිබුණා නම් මේ අබිරහස මෙයට පෙර විසඳා ගැනීමට ඉඩ තිබුණි.
සුගත් පී.කුලතුංග ආරච්චි
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment