Photobucket

Thursday, December 6, 2012

සෞදිය පිරීම සහ සෞදියට ශාප කිරීම

දිය යනු වතුරට කියන නමයි. ජයග්‍රහණයට කියන නමයි. ජයග්‍රහණයේදී සෞදිය පුරනු ලැබේ. එසේම ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් කෲරත්වයට, හිංසනයට, දූෂණයට පාත්‍ර වන විට සෞදියට ශාප කරනු ලැබේ.

සීගිරියේ බටුයායේ පදිංචිව සිටි එම්. සමන්ති මහත්මිය පසුගියදා මිය ගියාය. ඇය මිය යැමට පෙර සිටියේ සෞදි අරාබියේ ඔලෙයියා කඳවුරේ ය. වීසා නැතිව සිටින, ගෙවල්වලින් පැන යන විදේශික ගෘහ සේවිකාවන් ගාල් කරනු ලබන්නේ ඔලෙයියා බඳු කඳවුරුවලය. සමන්ති මියගියේ කඳවුරේදී ද නැතහොත් ශ්‍රී ලංකාවේදී ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වුවද, ඇගේ අවමඟුලට පැමිණි ඒ. ධම්මිකා නමැති මහත්මියක්‌ වේගවත් කතාවක්‌ කළාය. සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය ඇය ද ඩලෙයියා කඳවුරේ දුක්‌ විඳ පැමිණියෙකි. ශ්‍රී ලාංකික කාන්තාවන් සෞදියේ දී ඉතා දරුණු දුක්‌ විඳින බවත්, ලිංගික හිංසනයට ලක්‌ වන බවත් සඳහන් කළ ඇය එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙබඳු නීච වැඩවලට උදව් කරන බව පැවසුවාය. සෞදියට ශ්‍රී ලාංකික කාන්තාවන් නොයවන ලෙස ඇය රජයෙන් ඉල්ලයි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ 1970 සිට බලයට පත් වූ මෙරට කිසිම ආණ්‌ඩුවක්‌ මැදපෙරදිගට බලහත්කාරයෙන් ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රමිකයන් නොයෑවූ බවයි. සියලු දෙනා එහි ගියේ කැමැත්තෙනි. කාන්තාවෝ විවිධ අතරමැදියන් ලවා වයස අඩුවෙන් සහ වැඩියෙන් සඳහන් කර හොර පාස්‌පෝට්‌ හදා මැදපෙරදිගට ගියහ. මේවාට උදව් කළෝ ඒජන්සිකාරයෝ ය. මිනී මැරුමක්‌ සම්බන්ධයෙන් දැනට සෞදි අරාබියේ සිර ගෙදරක මරණ දඬුවම නියම වී සිටින රිසානා නමැති බාල වයස්‌කාර දැරිය ද මෙසේ ව්‍යාජ වයසක්‌ යොදා යවන ලද දැරියකි. රිසානා බේරා ගැනීමට ආණ්‌ඩුව දැරූ උත්සාහයන් සියල්ල ම පාහේ මේ වන විට ව්‍යර්ථව ඇත. අප දන්නේ එරට බන්ධනාගාර නිලධාරීන් ඇයට කරුණාවෙන් සලකන බව පමණි.

ගෘහ සේවයට යන කාන්තාවන් හිංසනයට ලක්‌ වීම හැම රටකම සිදු වේ. ගෘහ සේවයට එන කාන්තාවක්‌ හිංසනයට ලක්‌ කළ යුතු බව කියන රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ කිසිදු රටක නැත. එය පෞද්ගලික මට්‌ටමින් සිදුවන ක්‍රියාවලියකි. ඒ ගැන සොයා බලන්නට ඉන්නේ තානාපති කාර්යාලයන් ය. අපේ තානාපති සේවයට කවදත් පණ තිබුණේ නැත. අපේ තානාපතිවරුන්ගෙන් වැඩි දෙනා කවදත් රට ගියේ සිය දරුවන්ට උගන්වා විදේශ විනිමයෙන් වැටුපකුත් ලබාගෙන විනෝදවත් කාලයක්‌ ගත කර මවු රටට ඒමට ය. ආපසු එන අතර තමන් පදිංචිව සිටි කුලී නිවසේ ඇති යමක්‌ සොරා ගෙන ඒමට හැකි නම් ඔවුහු එය ද කළහ. පසුගිය කාලයේදී විදේශ සේවයට ගිය එබඳු නිලධාරියෙක්‌ ආපසු එන විට තමන් නැවතී සිටි ගෙදර පියානෝව ද සොරාගෙන ආවේය. පියානෝව ගෙනා එකා මුළු ගෙදරම නැවට පටවාගෙන නො ඒම පුදුමයකි. නිවසේ අත්තිවාරම හයිය නිසා එය වළකින්නට ඇත. අපේ තවත් තානාපති නිලධාරියෙක්‌ පසුගිය කාලයේදී තමා පිටරටදී ඇති කළ සුරතල් සුනඛයා එරට තනිකර දමා පවුලේ සෙසු උදවිය සමඟ මෙරටට ආවේය. මේ මොන කාලකණ්‌ණියෙක්‌ද? මෙබඳු මිනිසුන්ට වඩා සුනඛයන් යහපත් ය.

අපේ තානාපති සේවය සෙවල තත්ත්වයට පත්වී ඇත්තේ ඒ. සී. එස්‌. හමීඩ් සහ ලක්‍ෂ්මන් කදීර්ගාමර් හැරුණු විට සිටි විදේශ ඇමැතිවරුන් වැඩි දෙනා සෙවලයන් නිසා ය. මෙකල සිටින විදේශ ඇමැති ජී. එල්. පීරිස්‌ට විදේශ අමාත්‍යාංශය හා තානාපති කාර්යාල පාලනය කිරීම කෙසේ වෙතත් තම විදේශ ගමන් පාලනය කර ගැනීමටවත් බැරි බව පෙනෙයි. මේ විදේශ ඇමැතිවරුන්ට වැඩි මෙහෙයක්‌ මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් රන්ජන් රාමනායක කරයි.

මැද පෙරදිග තානාපති කාර්යාලවල නිලධාරීන් උසස්‌ තානාපති නිලධාරීන්ට සහ අරාබි ධනවතුන්ට කාන්තාවන් සැපයීම ටිකක්‌ පරණ කතාවකි. ඇතැම් මැදපෙරදිග රටවල ඇති කාන්තා අනාථ නිවාස පවත්වාගෙන යන්නේ 'කාන්තා ගොවිපළවල්' වශයෙනි. කුකුල් මස්‌ කන එකා ෆාම් එකෙන් බ්‍රොයිලර් කුකුළකු ගන්නා පරිදි සිරුරේ දහය උරා ගැනීමට බැරි තානාපති නිලධාරියා අනාථ කඳවුරකට ගොස්‌ ගෘහ සේවිකාවක තෝරා ගැනීම සාමාන්‍ය දෙයකි. එබැවින් ආණ්‌ඩුව කළ යුත්තේ මැද පෙරදිගට ගෘහ සේවිකාවන් යෑවීම නැවැත්වීම නොව නීච තානාපති නිලධාරීන් යෑවීම නැවැත්වීමය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all