Photobucket

Monday, December 31, 2012

ශ්‍රී ලංකාව එක්දින තරගවලදී සටන්කාමියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සටන්කාමී ක්‍රීඩාව ඇත්තේ එක්දින තරගවලදී පමණක් බවත් ඔස්ට්‍රේලියාව වෙතින් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය තමා සම්බන්ධ වුණු ඉතාම නරක ටෙස්ට් තරගය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසයි.

ලබන නව වසරේ තෙවැනි දිනයේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇරැඹෙන තෙවැනි ටෙස්ට් තරගය සඳහා වේග පන්දු යවන ලසිත් මාලිංගගේ සේවය ලබා ගැනීමට ඇත්නම් තමා ඉතාමත් සතුටු වන බවත් එහෙත් මාලිංග දැන් ‘බිග් බෑෂ්’ තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ඔහු තම කණ්ඩායමට අහිමි බවත් ෆෝඩ් කියා සිටී.
“මා සම්බන්ධ වුණු ඉතාම නරක ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි. දවස් තුනක් ඇතුළත පරාජයකට මා සම්බන්ධ වෙලා ඇති කියලා මා හිතන්නේ නැහැ” ෆෝඩ් කියයි.

කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු දස දහස සම්පූර්ණ කිරීම හැරුනු විට එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ට ගත හැකි වෙනත් ධනාත්මක දෙයක් නැතැයි ද ෆෝඩ් ප්‍රකාශ කරයි.

විශේෂයෙන් පන්දුවට පහර දීමේදී ස්ථිර අරමුණක් නොමැති වීම ශ්‍රී ලංකාව ලත් ඒ නින්දිත පරාජයෙන් ප්‍රදර්ශනය වෙයි. පළමු ඉනිමේ දී ලකුණු 156කට දැවී ගිය ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී ලකුණු තුනක ට කඩුලු තුනක් ද, ඉන්පසුව ලකුණු 13කට කඩුලු 4ක්ද අහිමි කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සටන්කාමී බවක් නොතිබීම පිළිබඳව තමා විස්මයට පත්වූ බව ශ්‍රී ලංකා පුහුණුකරු කියා සිටී. “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ තිබෙන සටන්කාමීබව ගැන මම නිතරම කතා කර තියෙනවා. ඔවුන්ගේ ඒ සටන්කාමීබවට මා හුරු වී සිටිනවා. නමුත් ඒ සටන්කාමීබව වැඩිපුරු ඇත්තේ එක්දින තරගවල පමණක් බවට දැන් පිළිගන්න වෙලා තියෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වැඩි දුරටත් පවසා සිටී.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අත්විඳි නීරස පරාජය අදින් ගෙවී යන වසරත් සමග අමතක කොට හෙට උදාවන නව වසරේ තරගයට විශ්වාසයකින් යුතුව මුහුණ දීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද සිඩ්නි නුවර ට පැමිණෙයි.

ජනවාරි මස 3 වැනි දින සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇරැඹෙන තෙවැනි හා අවසාන ටෙස්ට් තරගයට කුමාර් සංගක්කාර කණ්ඩායමේ නොසිටීම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි පාඩුවකි. ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ ප්‍රබල අභියෝගයට සාර්ථකව මුහුණ දුන් එකම පිතිකරුවා ඔහු ය. එහෙත් අවාසනාවකට වමතේ ඇඟිල්ලට සිදුවූ ආබාධයෙන් පසුව ‘සංගා’ මේ සංචාරයේ ඉදිරි තරගවලට සහභාගි වීමට නොහැකි තත්ත්වයක පසුවේ. කෙසේ වෙතත් සංගක්කාර හදිසියේම යළි ශ්‍රී ලංකාව ට නොයවනු ඇත. තවත් ප්‍රතිකාර සඳහා ඔහු තව දුරටත් මෙහි රැඳී සිටී.

සංගක්කාර වෙනුවට මෙහි පැමිණෙන ලහිරු තිරිමාන්න හා චානක වෙලගෙදර වෙනුවට කැඳවනු ලබන සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පිල ට නව ජීවයක් එක් කරනු ඇතැයි කාගේත් බලාපොරොත්තුව වී තිබේ. පාදයේ ආබාධයකට ලක්ව සිටින වෙලගෙදර යළි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

තිරිමාන්න  (1) සිඩ්නි නුවරට පැමිණීමට නියමිතය. ලක්මාල් තරගයට පෙර දිනයේ මෙහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙස් වෙතත්, ලක්මාල් සිඩ්නි තරගයට ක්‍රීඩා නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. මක් නිසාද යත්, වේග පන්දු යවන නුවන් ප්‍රදීප් මේ සංචාරයේ මුල සිටම ශ්‍රී ලංකා කණ්ඩායම සමග මෙහි රැඳී සිටින බැවිනි. තිරිමාන්න ක්‍රීඩා කරනු ඇත්තේ කඩුලු රකින පිතිකරු ප්‍රසන්න ජයවර්ධන ඔහුගේ ආබාධයෙන් සුවය නොලැබුවොත් පමණි. ප්‍රසන්න ක්‍රීඩා නොකළ හොත් දිනේෂ් චන්දිමාල් සිඩ්නි තරගයේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all