Photobucket

Wednesday, December 26, 2012

පදිකවේදිකාවෙන් රුපියල් එකසිය පනහකට ඇඳුමක් ගන්න මට කවදටත් පුළුවන් වෙන්න ඕනෑ

- ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම නිළිය සමාධි ලක්සිරි

පසුගියදා පැවැති 17 වන ලක්ස් සුමති සම්මාන උළෙලෙහිදී වසරේ හොඳම නිළියට හිමි සම්මානය හිමිකරගනු ලැබුවේ ‘කඩදොර’ ටෙලි නාට්‍යයේ රඟපෑ සමාධි ලක්සිරිය. වේදිකාව තුළ තම රංගන ප්‍රතිභාව මුවහත් කරගත් සමාධි හොඳම වේදිකා නිළිය ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථා ඇත. ඉන්පසු ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි ඈ ලැබුණු සෑම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටුකළ අතර ‘කඩදොර’ ඈ ප්‍රධාන චරිතයට දායක වූ ප්‍රථම අවස්ථාවයි. ප්‍රථම වතාවට රඟපෑ ප්‍රධාන චරිතයටම හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ සමාධි මෙවර පිළිසඳරට එක්වන්නීය.
 
ප්‍රථමයෙන්ම ඔබ ලැබූ සම්මානය ගැන කතා කරමු
ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේදී හොඳම නිළියට හිමි සම්මානය ලැබූ ප්‍රථම අවස්ථාවයි මේ. ප්‍රථම වතාවට රඟපෑ ප්‍රධාන චරිතයට එම සම්මානය හිමිවුණා. එය විශාල සතුටක්.

ඔබ දක්ෂතම නිළිය සම්මානය ලැබුවා. ජනප්‍රියම නිළි සම්මානය ගැන අදහසක් නැද්ද ?
මම රඟපාන චරිතවලට මගෙ රඟපෑමට ආදරය කරන කෙනෙක් ළඟට ගිහින් ‘ඒ රඟපෑම කළේ මමයි’ කියා මා කියද්දී ‘ඇත්තටම ඒ ඔයාද ?’ කියල කවුරුහරි කියනවා නම් ඒකට තමයි මම කැමති. පුද්ගලිකව ජනප්‍රිය වන්න මම කැමති නැහැ.

ඇයි ඒ ?
රංගන ශිල්පිනියකට සමාජය හැදෑරීම වැදගත්. කොළඹ හතේ සුපිරි පැළැන්තියේ කාන්තාවගේ චරිතයේ පටන් පහත්ම සමාජ මට්ටමේ කෙනෙකුගේ චරිතය දක්වා රඟපාන්න නම් ඔය දෙක අතර මැද ඉන්න ඕනෑ. මම දැනටත් යන්නෙ එන්නේ පාරෙ බස් එකේ. දිගටම එහෙම ඉන්න මම කැමතියි. තෝසේ කන්න හිතුණොත් සයිවර් කඩේකට ගිහින් තෝසේ කන්න පදිකවේදිකාවෙන් රුපියල් එකසිය පනහකට ඇඳුමක් ගන්න මට කවදටත් පුළුවන් වෙන්න ඕනේ. ඒකට ජනප්‍රියත්වය බාධාවක් වෙනවාට මම කැමති නැහැ.

මම මහ ‍පොළොවේ ඉන්නවා කියලා කියාගන්න අය ඒ තුළිනුත් ජනප්‍රියත්වයක් ලබන්න උත්සාහ කරනවා ?
මම කීවේ අවංකවමයි.  තවම මම ජනප්‍රිය චරිතයක් නමෛයි. සමහරවිට තව කාලයක් යද්දී මීට වඩා ජනප්‍රිය  වන්න පුළුවන්. ඒත් එදාටත් හිතන්නේ අද වගේම තමයි.

අතිශය ජනප්‍රිය චරිත එහෙම නැත්නම් තරු ගැන සමාධි මොකද හිතන්නේ?
තරුව කියන්නේ නැගලා බැහැලා යන දෙයක්. හැබැයි තරුවකට යම් කාලයක් පවතින්නට දක්ෂතාවය උවමනා වෙනවා. එහෙම නැති තරු ඉක්මනට නැගලා ඉක්මනටම බැහැලා යනවා.

ඒ අද පායලා තියන තරුවලට දක්ෂතාවයක් නැහැ කියලද ඔය කියන්නේ ?
අපේ රටේ තරුවක් වන්නට බාහිර දිස්නය හොඳටම ප්‍රමාණවත්. ඒත් ලෝකයේ දියුණු පිටරටවල එහෙම නැහැ. දක්ෂතාවය නිසාමත් තරු බවට පත් වූ අය ඉන්නවා.

උදාහරණ කියන්න පුළුවන්ද ?
රැජිනි කාන්ත්,  ඔහු සුන්දර සුකුමාල පෙනුමක් තියෙන දිලිසෙන කෙනෙක් නමෛයි. ඒත් ඔහු සුපිරි තරුවක්. ඔහු තරුවක් වුණේ දක්ෂතාවයෙන්.

සමාධි දක්ෂ චරිතාංග නිළියක්. ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍යවලට එකතු වෙලා සමාධිත් දවසක තරුවක් වේවි
මම දැනට  සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරිනියක් විදියට රැකියාව කරන අතර තමයි රඟපෑමේ කටයුතුවල යෙදෙන්නේ. නිළියක් විදියට ඉහළ තැනකට ගියත් රැකියාව නැති කරගන්නෙ නැහැ කියන අදහසෙයි මම ඉන්නේ.

ඒ නිසා හොඳ නිර්මාණවලට දායක වීමේ අවස්ථාව මග හැරෙනවා ඇති
මට අවුරුද්දටම තියෙන්නේ නිවාඩු හතළිස් පහයි. ඒ හින්දා අවුරුද්දට රඟපාන්න වෙන්නෙ එක නිර්මාණයක හෝ දෙකක විතරයි. ලැබුණු පිටපත් අතුරින් හොඳම ඒවා තෝරා ගත්තට පස්සේ ඊට වඩා ප්‍රබල පිටපතක් ලැබුණොත් ‘අපරාදේ මේ නිර්මාණයට දායක වන්න බැරිවුණා වගේ’ කියල දුක්වෙන්න සිදු වූ අවස්ථා තියෙනවා. එවන් පසුබිමක ඔබ ඔය කී විදියේ වාතාවරණයක් මගෙ ජීවිතේ ඇතිවන්නෙ නැහැ.

සමාධි වගේම වේදිකාව මත අති දක්ෂ රංගනයන් ඉදිරිපත් කළ ඇතැම් අය අද ප්‍රමිතියෙන් අඩුයි කියන මෙගා නාට්‍යවල නිතර දකින චරිත වෙලා  
ඒක පුදුම වෙන්න දෙයක් ‍නෙවෙයි. අනික ඒකේ වැරැද්දකුත් නැහැ.

ඒ අය අමනාප වෙයි කියලද ඔය විදියට කියන්නේ
වෘත්තීය රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට චරිත තෝරා බේරාගෙන රඟපාන්න අවස්ථාවක් නැහැ.  ටෙලි නාට්‍යයේ ප්‍රමිතිය නොතකා ලැබෙන නිර්මාණ භාර ගන්න වනවා. ඒ වගේ වෙලාවට ඒ අයට කරන්න තියෙන්නේ නිර්මාණය බාල බොළඳ එකක් වුවත් තමන්ගේ චරිතය උපරිමයෙන් රඟපාන එක විතරයි.

නමුත් එතකොට ඒ අයගේ හැකියාවන් මොට වන බව නේද සමහරු කියන්නේ ?
එහෙම කියන්න බැහැ. වේදිකාවේ මහා පරිචයක් ලබපු ශිල්පීන් මෙගා නාට්‍යයක සුළු චරිතයක් වුණත් සියුම් වෙනස්කම් මතු කරමින් රඟපානවා මම දැකලා තියෙනවා. ටෙලි නාට්‍යයෙන් ඒ අයට ආලෝකයක් ලැබුණත් නොලැබුණත් එවැනි අයගෙන් අදාළ නාට්‍යයට ලොකු ආලෝකයක් ලැබෙනවා. ඔය කී ආකාරයේ ටෙලි නාට්‍යවලට එවන් දක්ෂ අය දායක වීම වරදක් නෑ කියලා මම කිව්වේ ඒ හින්දයි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all