Photobucket

Friday, December 7, 2012

වෘත්තීය ගරුත්වය රැකගැනීම ගුරුවරයාගේ වගකීමක්

මවුපියන්ගේ ආර්ථිකය ශක්තිමත් කර දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමේ උත්කෘෂ්ඨ කාර්ය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අකුරටම ඉටු කරමින් සිටින බව උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා පැවැසීය.

ප්‍රධාන ඇමැතිවරයා එම අදහස් පළකැර සිටියේ නොච්චියාගම බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විදුහලේ පැවැති දරුවන්ගේ විවිධ ප්‍රසංගයකට හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට පෙරේදා (05) සහභාගි වෙමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.

මවුපියන්ගේ ආර්ථිකය ශක්තිමත් වුවහොත් පමණයි දරුවන්ගේ අධ්‍යාපනයට හොඳ වටාපිටාවක් පරිසරයක් ඇති වන්නේ. මහින්ද රාජපක්‍ෂ රජය එම කාර්ය මනාව ඉටු කරමින් සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයට අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් මම තරයේ ප්‍රතික්‍ෂේප කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම් පසුගිය කාලය පුරා මේ පළාත තුළ ක්‍රියාත්මක වෙනු මම දැක්කා. ඒ තුළින් ගැටලු රැසක් පැන නැඟුණා. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ගුරුවරයාගේ නිදහස් චින්තනය තුළ කටයුතු කිරීමට අවස්ථාව දීමෙන් නිර්මාණශීලී ගුරුවරයකු බිහි වෙනවා. නිර්මාණශීලී ගුරුවරයකු බිහිවෙනවා කියන්නේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා කියන එකයි.

ගුරු වෘත්තිය දේව වෘත්තියක්. ඒ වෘත්තියේ ගරුත්වය ආරක්‍ෂා කර ගැනීම ගුරුවරයාගේ යුතුකමක් සේම වගකීමක්. යම් පුද්ගලයකු තමන් කරන වෘත්තියේ වැටුපට ණය නොවී සීමා නොවී කටයුතු කිරීම මුළු සමාජයටම ලබාදෙන පූර්වාදර්ශයක්. මේ තුළින් තමන්ගේ ජීවිතයට ලැබෙන ආත්ම තෘප්තිය කියා නිමකරන්න බැරි බව ද ප්‍රධාන ඇමැතිවරයා කීය.

යුද්ධය පැවැති ගම්මානවල ජීවත්වන පාසල්වල දරුවන්ට අපේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දී ඇති නිදහස තුළින් නිදහස් මනසකින් අධ්‍යාපනය හැදෑරීමේ ඉඩකඩ සලසා තිබෙනවා. “දැයට කිරුළ”, “දිවි නැඟුම”, “මඟ නැඟුම”, “ජාතික සවිය” තුළින් පානීය ජලය, මාර්ග, විදුලිය ආදී මූලික අවශ්‍යතා ඉටුකර දෙමින් සාමාජීය හා ආර්ථික ශක්තිය උදාවන බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට උතුරුමැද පළාත් සභා සභාපති ටී. එම්. ආර්. සිරිපාල, පළාත් මන්ත්‍රී කුමාරසිංහ, විදුහල්පති එම්. ඒ. ආරියපාල යන මහත්වරු ද සහභාගි වූහ.

තෙන්නකෝන් කුලසේකර
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all