සංගක්කාර ලකුණු දසදහසේ සමාජයට එක්වෙයි
කුමාර් සංගක්කාර ලොව වඩාත් ම වේගයෙන් ටෙස්ට් ක්‍රිකට් ලකුණු දස දහස ලබා ගත්
පිතිකරුවා වීමේ සතුට හැරෙන්නට ශ්‍රී ලංකාව ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ
ඊයේ ‘බොක්සිං දිනය’ තරගය එක ම ශෝකාන්තයක් විය.
සත්කාරක ඔස්ට්‍රේලියාව ට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ගැටුමේ ඊයේ ආරම්භක
දිනයේ සවස තේ පානය ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයෝ ඕවර 43 යි පන්දු
4 ක් ඇතුළත ලකුණු 156කට දැවී ගියහ. ඉක්බිති පන්දු රැකීමේදී ඔවුන් අතින් වටිනා උඩ
පන්දු දෙකක් අතහැරැණි.
හැටපන් දහසකට අධික නරඹන්නන් පිරිසක් ඉදිරියේ ඊයේ දිස්වූයේ මෙල්බර්න්
ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක පළමු දිනයක දක්නට ලැබුණු වඩාත්ම
අධෛර්යමත් පිතිකරණයකි. ශ්‍රී ලංකාව මේ ටෙස්ට් තරගයේ වාසිය බන්දේසියක දමා
ඔස්ට්‍රේලියාව ට පිළිගන්වා තිබෙන සැටියකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව ඊයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී
ලකුණු 150ක් රැස්කර ගෙන සිටියේය. මයිකල් ක්ලාක් ලකුණු 20ක්ද, ෂේන් වොට්සන් ලකුණු
13ක්ද ලබා ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියහ.
කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුව ට පහර දීමට නායක මහේල ජයවර්ධන තීරණය කළද
ඔහු ඇතුළුව අනෙකුත් ශ්‍රී ලාංකික පිතිකරුවන් ඉතාමත් පහසුවෙන් දවාලීමට
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ සමත් වූහ.
කුමාර් සංගක්කාර පමණක් හුදෙකලා
සටනක නිරත වෙමින් අර්ධ ශතකයක් ලබා ගත්තේය. පැහැබර හා ප්‍රසන්න බොක්සිං දිනයක
ආරම්භ වූ තරගයේ පළමු පැය ශ්‍රී ලංකාව ට ‘අඳුරු’ එකක් බවට පත්වෙමින් ඔවුන්ගේ මුල්
පෙල කඩුලු තුනක්ම ඕවර 12 යි පන්දු 3ක් අතරවාරයේ බිඳ වැටිණි.
ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලබා ගත්තේ ඊයේ මංගල ටෙස්ට් වරම් ලැබූ වේග පන්දු යවන ජැක්සන්
බර්ඩ් ය. ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කොට යැවූ 10 වැනි පන්දුවෙන් දිමුත්
කරුණාරත්න ගේ කඩුල්ල ලබා ගැනීමට සමත් විය.
මැතිව් වේඩ් කඩුලු රකින්නා වෙත උඩ
පන්දුවක් ලබා දෙමින් කරුණාරත්න දැවී යන විට රැස්කර ගෙන සිටියේ පන්දු 14කින්
ලකුණු 5ක් පමණි. මේ අනුව, ඔස්ට්‍රේලියාව ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා
පළමු කඩුල්ල මුළු ලකුණු 13කට සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙන් බිඳ වැටිණි.
ආක්‍රමණශීලී ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඊළඟට ලකුණු 11කට දැවී ගියේ
මෙල්බර්න් ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රිකට් ලෝලී ජනයා අන්දමන්ද
කරවමිණි. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් මේ දැවී යාමෙන් විස්මයට පත්ව සිටියදී
ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීහු ක්‍රීඩාංගණය දෙවනත් කරවන තරමට ජය ඝෝෂා නැගූහ.
මුළු ලකුණු ප්‍රමාණය 19ක්ව තිබියදී මිචල් ජොන්සන් යැවූ තරගයේ හත්වැනි ඕවරයේ
තෙවැනි පන්දුවට කෙළින් පහරක් එල්ල කිරීමට ඩිල්ෂාන් ගත් උත්සාහයේදී ඔහුගේ
පිත්තේ අග වැදුනු පන්දුව අනතුරුව පිට ඉන්නේ ගැටිණි. හතරේ පහර 2ක් එල්ල කළ
ඩිල්ෂාන් මුහුණ දුන්නේ පන්දු 20කට පමණි.
මුළු ලකුණු 37දී ශ්‍රී ලංකාව ට තවත් වටිනා කඩුල්ලක් අහිමි විණි. ඒ, නායක මහේල
ජයවර්ධන ගේ දැවී යාමයි. පන්දු 26කට මුහුණ දෙමින් මහේල ලබා ගත්තේ ලකුණු 3ක් පමණි.
තරගයේ 13 වැනි ඕවරයේ පීටර් සිඩ්ල්ගේ පන්දුවට කඩුලු රකින වේඩ් වෙත උඩ පන්දුවක්
ලබා දෙමින් මහේල දැවී ගියේය. පිට ඉන්න ට පිටින් ආ පන්දුවට මහේල පිත්ත දමද්දී එහි
අග ගෑවී ගිය උඩ පන්දුව කෙළින්ම කඩුලු රකින්නා අතට ගියේය. මේ අනුව ඔස්ට්‍රේලියානු
වේග පන්දු යවන්නන් තිදෙනාම තරගයේ කළින් ම සාර්ථක ඵල නෙලා ගැනීමට සමත් වූහ.
දිවා ආහාරය ට පෙර යැවුනු අවසන් ඕවරයේදී කුමාර් සංගක්කාර ඔහුගේ ටෙස්ට් ක්‍රිකට්
ලකුණු 10,000 සම්පූර්ණ කළේය. ඔහු ලකුණු දස දහස අභිබවා ගියේ ජොන්සන්ගේ පන්දුවට
අලංකාර හතරේ පහරක් එල්ල කරමිණි. ඊයේ තරගයේ උදය වරුවේ ප්‍රදර්ශනය වූ දුර්වල
ක්‍රීඩාවෙන් පසුව ශ්‍රී ලංකාව ට යම් සතුටක් හෝ ලැබුනේ සංගාගේ මේ වික්‍රමයෙනි.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාවේ කඩුලු 3ක් ලකුණු 79කට බිඳ වැටී
තිබිණි.
දිවා ආහාරයෙන් පසුව යැවුනු තෙවැනි පන්දුවෙන් ම තිලාන් සමරවීර දැවී ගියේය.
පන්දු 38කට මුහුණ දෙමින් ඔහු ලබා ගත්තේ ලකුණු 10ක් පමණි. ඔහු සහ සංගක්කාර
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 13ක් ඇතුළත ලකුණු 42ක් රැස් කරමින් සිටියදී
බර්ඩ්ගේ පන්දුවට ‘ෂෝට් මිඩ් විකට්’ හි පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට පහසු
උඩ පන්දුවක් දෙමින් සමරවීර දැවී ගියේය.
උප නායක ඇන්ජලෝ මැතිව්ස්ද සෙසු පිතිකරුවන් මෙන් ම අසාර්ථක වෙමින් ලකුණු 15ක්
පමණක් ලබා ගෙන ආපසු ක්‍රීඩාගාරය ට ගියේය. පන්දු 13කට මුහුණ දුන් ඔහු එක් හතරේ
පහරක් එල්ල කළේය.
සිඩ්ල්ගේ පන්දුවට මැතිව්ස්ගේ පිත්තේ වැදී ඉහළින් ආ පන්දුව
දෙවැනි ‘ස්ලිප්’ හි දී මයික් හසී අල්ලා ගත්තේ තනි වම් අතිනි. 31 වැනි ඕවරයේ
මැතිව්ස් පස්වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ මුළු
ලකුණු 99ක් පමණි.
මුළු ලකුණු 134දී ශ්‍රී ලංකා කඩුලු 2ක් බිඳ වැටිණි. මේ කඩුලු දෙකම පිට පිට ලබා
ගත්තේ මිචල් ජොන්සන් ය. සිසිල් පැන් පානයෙන් පසුව යැවූ පළමු පන්දුව ප්‍රසන්න
ජයවර්ධන වෙත ආවේ බියකරු අන්දමිණි.
එම පන්දුව ආවේ කොතැනින්ද කියා පිතිකරුවා
දැන සිටියේ නැත. කෙටි පන්දුවක් වූ එයින් ආරක්ෂා වීමට ප්‍රසන්න උත්සාහ කළද පන්දුව
ඔහුගේ පිත්තේ ඉහළ කොටසේ වැදී තෙවැනි ‘ස්ලිප්’ හි පන්දු රකිමින් සිටි ෆිල් හියුස්
වෙත ගියේය.
ජොන්සන් ඊළඟට ධම්මික ප්‍රසාද් ට සංග්‍රහ කළේද කෙටි පන්දුවකි. කෙළින් ම ශරීරය වෙත
පැමිණි ඒ පන්දුවවෙන් අහකට වීමට ප්‍රසාද් ට වේලාවක් නොතිබුනු අතර පන්දුව ඔහුගේ
අත් ආවරණයේ වැදී කඩුලු රකින්නා අතට ගියේය.
ප්‍රසන්න පන්දු 30කට මුහුණ දී හතරේ
පහරක් සමග ලකුණු 24ක් රැස් කළේය. ඔහු ලකුණු 19ක් ලබා ගෙන සිටියදී ජොන්සන් ගේ
පන්දුවකට කඩුල්ල මුවා කළ බවට පිටියේ තරග විනිසුරුවරයා තීරණය කළ ද ප්‍රසන්න
එම තීරණය අභියෝගයට ලක් කළේය. ඉන්පසුව තෙවැනි විනිසුරුවරයා එය දැවී යාමක්
නොවන බවට තීන්දු කළේය.
41 වැනි ඕවරයේ මුළු ලකුණු ප්‍රමාණය 147ක්ව තිබියදී කුමාර් සංගක්කාර දැවී ගියේය.
ඔහු දැවී ගියේ ඊයේ තරගයේ දක්නට ලැබුණු අති විශිෂ්ටතම උඩ පන්දු රැක ගැනීමකිනි.
ඒ ගෞරවය ලබා ගත්තේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ය.
ජොන්සන් ගේ පන්දුවට සංගක්කාර එල්ල කළ ‘පුල්’ පහරේදී පන්දුව ගුවනට ගියේ කඩුලු
රකින්නා ට ඉහළිනි. එය ජොන්සන් ගේ 200 වැනි ටෙස්ට් කඩුල්ල විය. අංක 3 පිතිකරු ලෙස
පිටියට පිවිසි ‘සංගා’ මිනිත්තු 195ක් කඩුල්ලේ රැඳී සිට පන්දු 98කට මුහුණ දී හතරේ
පහර 8ක් සමග ලකුණු 58ක් වාර්තා කළේය.
වඩාත් ම සාර්ථක පන්දු යවන්නා වෙමින් ජොන්සන් ලකුණු 63කට කඩුලු 4ක් ලබා ගත්තේය.
බර්ඩ්, සිඩ්ල් හා ලයන් කඩුලු 2 බැගින් ලබා ගත්හ.
ප්‍රසන්න ජයවර්ධන දැවී ගිය පන්දුව වැදීමෙන් අතේ ඇඟිල්ලකට තුවාළ සිදුවීම
හේතුවෙන් ඔහු ‘එක්ස් - රේ’ පරීක්ෂණයකට යැවිණි. මේ හේතුවෙන් කඩුලු රකින්නාගේ
කාර්යය ඉටු කිරීමට සංගක්කාර ට සිදුවිණි.
ප්‍රසන්න වෙනුවට 12 වැනි ක්‍රීඩක
සුරාජ් රන්දිව් පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේය. ඔස්ට්‍රේලියානු ඉනිමේදී
එඩ් කොවන් හා ඩේවිඩ් වෝනර් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕවර 17.3කදී ලකුණු 95ක් රැස්
කරමින් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්හ.
වෝනර්, මැතිව්ස් ගේ පන්දුවකට
රන්දිව් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 62කට ප්‍රථමයෙන් දැවී ගියේය. පන්දු
46ක ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහරක් ඇතුළත්ව තිබිණි.
ඔස්ට්‍රේලියාවේ මුළු ලකුණු ප්‍රමාණය 117ක් ලෙසින් සටහන්ව තිබියදී ඔවුන්ගේ
දෙවැනි හා තෙවැනි කඩුලු බිඳ වැටිණි. ෆිල් හියුස් ලකුණු 10ක් ලබා ගෙන සිටියදී
දුවද්දී දැවී ගිය අතර (23 වැනි ඕවරය) එඩ් කොවන්, ධම්මික ප්‍රසාද් ගේ පන්දුවකට
දෙවැනි ‘ස්ලිප්’ හි පන්දු රකිමින් සිටි මහේල ජයවර්ධන වෙත උඩ පන්දුවක් ලබා
දෙමින් ලකුණු 36කට දැවී ගියේය.
කොවන් ගේ පන්දු 82ක ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත්ව
තිබිණි. ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් හා උප නායක ෂේන් වොට්සන් යන දෙදෙනා ම
ලකුණු 5 බැගින් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරීමට තරම් වාසනාවන්තයෝ වූහ.
රංගන හේරත් ගේ පන්දුවකට ක්ලාක් දුන් තරමක් අසීරු උඩ පන්දුව රැක ගැනීමට ඩිල්ෂාන්
අපොහොසත් වූ අතර චානක වෙලගෙදර ගේ පන්දුවකට වොට්සන් ගේ පිත්තේ අග දැවටී ආ උඩ
පන්දුව රැක ගැනීමට කඩුලු රකින සංගක්කාර අසමත් විය.
0 comments:
Post a Comment