Photobucket

Saturday, December 22, 2012

කතුන්ට වෛද්‍ය විද්‍යාලයේ දොර විවර කළ කාන්තාව

කාන්තාව සමාජයෙන් කොන් වී තිබූ ඈත අතීතයේ බටහිර රටවලද එම තත්ත්වයේ වෙනසක් දක්නට තිබුණේ නැත. ඇය ගෙදර දොර වැඩ කටයුතුවලට සීමාකර තිබූ අතර ශල්‍ය වෛද්‍යවරියක් බවට පත්වීම ඇයට සිහිනයක් පමණක් විය. එහෙත් ඒ වකවානුවට තිත තබමින් ප්‍රථම වරට ශල්‍ය වෛද්‍යවරියක වීමේ  භාග්‍යය එංගලන්ත කතකට උදාවිය. 1836 වසරේ ජූනි මස 9 වනදා එංගලන්තයේ ලන්ඩන් අගනුවර උපන් ඇයගේ නම එලිසබෙත් ගැරට් ඇන්ඩර්සන් විය.

කුඩා කල සිටම එලිසබෙත්ගේ බලා‍පොරොත්තුව වූයේ කෙසේ හෝ වෛද්‍යවරියක වීමටය. කාන්තාවකට වෛද්‍යවරියකවීමට සුදුසු නොවනු ඇතැයි යන මතය එකලද එංගලන්තයේ පැවැතුණු අතර ඒ නිසාම ඇයට ස්වකීය දෙමාපියන්ගේද විරෝධයට මුහුණදීමට සිදුවිය. වෛද්‍යවරියක වනු වෙනුවට තමන්ගේ රැකියාව පමණක් කරගෙන සිටින ලෙස ඔවුහු ඇයට අවවාද කළහ. අනෙක් අතට වෛද්‍ය වෘත්තියට පිවිසීිමට දිගටම වියදම් කිරීමට ඇයගේ දෙමාපියන්ට ආර්ථික ශක්තියක් තිබුණේද නැත.

ඇයගේ පළමු රැකියාව වූයේ මිඩ්ලන්හි සාත්තු සේවිකාවක් ලෙස නිරතවීමය. එම රෝහ‍ලේ දොස්තරවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරුද, සැත්කම් කරන විලාශයද බලමින් ඇය නොමද ආශ්වාදයක් ලැබුවාය. කවදා හෝ වෛද්‍යවරියක වීමේ සිහිනය ඵල ගැන්විය යුතුයැයි තරව අදිටන් කරගෙන සිටියාය.

එම රෝහ‍ලේ සේවය කළ දොස්තර ප්ලාස්කම් ඇයට උදවු කිරීමට ඉදිරිපත් වූවේය. තමා ප්‍රතිකාර කරනවිට ඇයවද කැඳවා යම් දැනුමක් ලබාදුන්නේය. ඇය එදිනෙදා රෝහ‍ලේ කෙරෙන වැඩකටයුතු ගැන දැඩි අවධානයෙන් සිටියාය. දොස්තර ප්ලාස්කම් ඇයට පෞද්ගලිකව අධ්‍යාපනය ලබාදීමටද කටයුතු කර තිබේ.

නොපසුබට උත්සාහයෙන් ක්‍රියාකළ එලිසබෙත්ට 1861 දී ලන්ඩන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට භාග්‍යය ලැබුණි. එසේ වුවද අවාසනාව ඇය හඹා ආවේය.  මහත් උදේ‍යා්ගයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වුවද එහි සිටි පිරිමි වෛද්‍ය ශිෂ්‍යයෝ ඇයට බලවත් ලෙස එරෙහි වූහ. අනතුරුව ඔවුන් සංවිධානය වී ඇය වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් කළ යුතු යැයි අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාස කිහිපයක දී ඇය විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එහි පාලකයන්ට සිදුවිය. ඉන්පසු කිසිදු වෛද්‍ය විද්‍යාලයකට ඇය ඇතුළත් කර ගත්තේ නැත.

මෙයට එරෙහිව ඇය පියාගේ සහය මත නඩු මගට බැස්ස අතර එහි ප්‍රතිඵලයක් ලෙස අර්ධකාලීන ශිෂ්‍යාවක් ලෙස ඇය වෛද්‍ය විද්‍යාලයට යළි ඇතුළු කර ගන්නා ලදී. එහෙත් අවාසනාවකට මෙන් ඇයට එලෙස අධ්‍යාපනයේ යෙදීම ගැනද ප්‍රබල විරෝධයක් ඇති වූ අතර යළිත්වරක් ඇය ඉන් ඉවත් කෙරිණ. එහෙත් තම ඉලක්කය සපුරා ගන්නා තෙක් ඇයගේ ධෛර්ය මදකුදු හීන වූයේ නැත.

පසුව එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ ඇය බොහෝ දුෂ්කරතා හා හැලහැප්පීම් මධ්‍යයේ පස්වසරක් දිගටම ඉගෙන ගත්තාය. අධ්‍යාපනය සාර්ථකව අවසන් කළද ඇයට වෛද්‍ය වෘත්තීය හිමි නොවූ අතර ඇ‍පෝතිකරිවරියක ලෙස රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර ලැබිණ.

ඇයගෙන් ප්‍රතිකාරගත් වැඩි කොටස කාන්තාවන් සහ කුඩා ළමෝ වූහ. හැම ප්‍රදේශවලම කාන්තාවන් ප්‍රතිකාර පතා ඇය වෙත ඇදී ආ අතර ඇය දැඩි කැපවීමෙන් සේවය කර ඔවුන් සුවපත් කළාය.

ඇය යළිත් පැරිස් නගරයේ සෝබෝන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර 1868 වසරේ 34 වන වියේදී  ඇම්.ඕ. උපාධිය ලබාගැනීමට සමත් වූවාය. ඉන්පසු එළිසබෙත් ගැරට් ඇන්ඩර්සන් අලුතින් ආරෝග්‍යශාලාවක් ගොඩනගා එය කතුන් සඳහා පමණක් වෙන් කළාය. මෙම රෝහ‍ලේ කෙරෙන සෑම ශල්‍යකර්මයක්ම කරන ලද්දේ ඇය විසිනි. කාන්තාවන්ට ආවේණික වූ විවිධ රෝග පිළිබඳ ඇය පෞද්ගලිකව පර්යේෂණ කර විවිධ කරුණු අනාවරණය කළාය.

1871 දී විවාහ වූ ඇය කාන්තාවන්ට වෛද්‍ය විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියාය. මුලින් දැඩි මතධාරීන්ගේ බලපෑම් මත ඇයගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වුවද පසුව එය පිළිගැනීමට සිදුවිය. රජය 1876 දී පනතක් සම්මත කරමින් කාන්තාවට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවසර දුන්නේය.

අනතුරුව ඇය කාන්තාවන් වෙනුවෙන් ලන්ඩන් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ අතර එහි කථිකාචාර්යවරියක ලෙසද අර්ධකාලීනව සේවය කළාය.

 බ්‍රිතාන්‍ය වෛද්‍ය විදුහලක පළමු කුලපතිනිය හා බ්‍රිතාන්‍ය පුරපති පදවියකට පත් පළමු කාන්තාව ලෙසද වාර්තා තබා ඇත්තේ ඇයයි.

සමස්ත කාන්තා පරපුර  වෙනුවෙන් අද්විතීය සේවයක් ඉටු කළ බව මෙම වීර කාන්තාව 1917 දෙසැම්බර් මස 17 වන දින අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට ඇය 81 වන වියේ පසුවූවාය. ඇය තම සේවාකාලය තුළ කාන්තාවන් දස දහස් ගණනකට ප්‍රතිකාර කර ඔවුන් සුවපත් කර වාර්තාවක් තබා ඇත. 2012 දෙසැම්බර් 17 වන දිනට කාන්තාවන්ට වෛද්‍ය වෘත්තියේ දොර විවර කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ මෙම වීරවරිය අභාවයට පත් වී 95 වසරක් පිරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all