Photobucket

Monday, December 17, 2012

ජගත් ඇමරිකාවේදී සුළි කුණාටුවකට මැදි වෙයි

ජගත් වික්‍රමසිංහ ගායකයකු වගේම සංගීතවේදියකු ලෙසත් ඉහළින්ම සිටින කලාකරුවෙක්. පසුගියදා ජගත් ඇමරිකාවේ සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා. මේ සඳහා ප්‍රවීණ ගායිකා ලතා වල්‍පොලත් සහභාගි වුණා. මේ අයට විදෙස් ප්‍රසංගවලට සහභාගිවීම අලුත්අත්දැකීමක් නොවෙයි. ඒත් මේ ප්‍රසංගය නම් මේ අයට විශේෂිත ප්‍රසංගයක් වුණා. ඊට හේතුව ජීවිතයේ කවරදාකවත් විඳ නැති අත්දැකීමකට මුහුණදීමට මේ ගමනේදී ඔවුන්ට සිදුවීමයි. පසුගියදා ඇමරිකාවට උදාවූ දරුණු සුළි කුණාටුවට මුහුණදීමට මේ අයට සිදුවුණා. ඒ අමතක නොවන දවස් කිහිපය ගැන වගේම ඇමරිකානු සංචාරය ගැනත් කතාකරන්න ජගත් අප සමග එක්වුණා.
 
ජගත් මේ සංචාරයට පිටත්ව ගිය තැනින් කතාබහ ආරම්භ කරමු.

පසුගිය ඔක්තෝබර් 25දා තමයි අපි ලංකාවෙන් පිටත්ව ගියේ. මේ ගමනට සහභාගි වුණේ ලතා ඇන්ටියි (ලතා වල්‍පොල) මමයි විතරයි.

ඒ ගමනේදී ප්‍රසංග කීයකට සහභාගිවීමට නියමිතව තිබුණාද?

ප්‍රසංග කීපයක්ම සංවිධානය වී තිබුණා. නිව්යෝක්, ඕලන්දෝ සහ වොෂිංටන් නගරවල තමයි ඒ ප්‍රසංග සංවිධානය වී තිබුණේ. මීට අමතරව ඇමෙරිකානු සංචාරය අවසානයේ කැනඩා සංචාරයකුත් යෙදිල තිබුණා.

සියලුම ප්‍රසංග පවත්වන්නට හැකිවුණාද?

මුලින් සඳහන් කළ ප්‍රසංග තුනට අමතරව ඇමරිකාවේ තවත් ප්‍රසංගයක් යෙදිල තිබුණා. ඒ ප්‍රසංගය සහ කැනඩා සංචාරය සිදුවුණේ නැහැ.

සුළි කුණාටුවට මුහුණදුන්නේ ප්‍රසංග අතරතුරේදීද?

නිව්යෝර්ක් නගරයේ පවත්වන ප්‍රසංගය යෙදී තිබුණේ නොවැම්බර් 03 වැනිදා. නිමල් ප්‍රේමරත්න, කල්‍යාණි ප්‍රේමරත්න සහ නාමල් කුරුප්පු තමයි එය සංවිධානය කර තිබුණේ. ඒත් ඒ ප්‍රසංගය නියමිත දින පවත්වන්න ලැබුණෙ නැහැ. එය පැවැත්වූයේ කුණාටුව අවසන් වූ පසුව. අපි නිව්යෝක් ගියදාට පසුවදාම සුළි කුණාටුව උදාවන බව රූපවාහිනිය මගින් දැන්වූවා.

ඉන්පසුව ඔබලා ඊට මුහුණදුන්නේ කොහොමද...?

නිව්යෝක් නගරයේම අය ඊට සූදානම් වුණා. නිව්යෝක් වැසියන් හරිම කාර්යබහුල පිරිසක්. ඒ අය කන්නෙ බොන්නෙ රෙස්ටොරන්ට්වලින්. ඒ අය ඊට සූදානම් වුණා. කෑමබිම එක්රැස් කළා.

කුණාටුව උදාවූ මොහොත මතකද?

ඒක ජීවිතයේ කවදාකවත් විඳල නැති අත්දැකීමක්. අහසේ විශාල සුළියක් කැරකෙනවා මම සජීවීව දැක්කා. මුහුදට එය කළ කැළඹීම මත මුහුදෙ රැලි ගොඩට ආවේ සුනාමි වගේ. පූරුවෙ පිනකට අපි හිතපු විදියට නම් මොකුත් වුණේ නැහැ. ඒත් අපි ප්‍රසංගය පෙන්වන්න හිටපු ශාලාව මුහුදු වතුරට යටවෙලා ගියා. ගෙවල් දොරවල් විනාශවන හැටි ගස් කඩාවැටෙන හැටි මම දැක්කා.

නිව්යෝක් වැසියන් ඒ අනතුරට මුහුණ දුන්නේ කොයි විදියටද?

නිව්යෝක් නගරය අතිශය කාර්යබහුල නගරයක්. ඒ අයගේ ප්‍රධාන අවශ්‍යතාවන්නේ ආහාර, වාහනය, රූපවාහිනිය, අන්තර්ජාලය, දුරකතනය. ගෙවල් ගැන උනන්දුව අඩුයි. බඩු මුට්ටු අඩු සරල ගෙවල් තමයි ඔවුන්ට තියෙන්නේ. කුණාටුවත් එක්ක විදුලිය, ජලය, දුරකතන හා අන්තර්ජාල පහසුකම්, ඩීසල් වැනි දේ ඇනහිටියම ඒ අය අවතැන්වුණා වගේ වුණා. රෙස්ටොරන්ට්වල අයත් ඒවා වහලදාල ගිහින්. මිනිස්සු සිහියත් අසිහියත් අතර වගේ හිටියේ. සීත කාලය හින්දා සීතලට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන මම පාර දිගේ ඇවිද ඇවිද මේ දර්ශන නැරඹුවා.

 අපේ රටේ නම් අසල්වැසි නිවසක අවමංගල්‍යයක් වුණත් ඒ දින කිහිපයට කෑමබිම ලැබෙන්නේ අසල්වැසියන්ගෙන්

ඇත්තටම ඒ ගුණාංගය මටත් සිහිවුණා. ඒ රටේ අසල්වැසියන් අතර ‘හලෝ’ කියන වචනයට වැඩි ආශ්‍රයක් නැති තරම්. අර විදියට අසරණ වූ අයට සියලු උපකාර ලැබුණේ රජයෙන්. අසල්වැසියන්ගෙන් නමෛයි.

ඉතිරි ප්‍රසංග දෙක සාර්ථකව කරගන්න පුළුවන් වුණාද?

ඔව්, කාංචන හා චන්ද්‍රිකා තමයි ඕලන්දෝ ප්‍රසංගය සංවිධානය කළේ. ආනන්ද හේරත් හා එහි කලා කවය වොෂිංටන් ප්‍රසංගය සංවිධානය කළා. ඒවා සාර්ථක වුණා. ඒ අයට ස්තූති කළ යුතුයි. ඒ වගේම කුණාටුව කාලය තුළ අපිව රැකබලාගත් නිමල් කල්‍යාණි යුවළටත් විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි. නියමිත දිනයේ පවත්වන්නට බැරිවූ නිව්යෝක් ප්‍රසංගයත් වෙනත් ශාලාවක අතිසාර්ථක විදියට පවත්වන්නට මේ දෙපළ කටයුතු කළා.

අමතක නොවන දින කිහිපය නිමා කරලා යළි ලංකාවට ආවේ කවදාද?

නොවැම්බර් 07 වැනිදා ආවා. ඇමරිකාවේ සිටි කාලය තුළ තමයි ලතා ඇන්ටිගේ 79 උපන්දිනය සැමරුවේ. ඒකත් විශේෂ අත්දැකීමක්. ඒ වගේම මැතිවරණය පවත්වල ඔබාමා යළි ජනාධිපති පදවියට පත්වුණේ අපි එහෙ ඉන්නා කා‍ලේ. එහෙ මැතිවරණය අපිට විශේෂ අත්දැකීමක්. මිනිසුන් සාමකාමීව තමන්ගෙ ඡන්ද භාවිතා කරලා සුපුරුදු කටයුතුවලම යෙදෙනවා. ප්‍රතිඵල ඇහුවට පස්සෙත් ඊට මුහුණදෙන්නේ සාමාන්‍ය අත්දැකීමකට මුහුණ දෙන විදියට.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all